Tuesday, May 23, 2017

රාවණාට අවි තැනූ කිණිහිර - Hike to Rakshawa

                              කිණිහිර,රාක්ෂාව,වංගෙඩි මෝල් ගහ වැනි නම් රාශියකින් හඳුන්වන දොළොස්බාගේ ප්‍රදේශයේ පිහිටි අලංකාර කඳුගැටයකට නැගි ගමනක් පිළිබඳව තමයි අද මේ සටහන ලියවෙන්නේ.රාවණා රජුගේ ආයුධ කම්හල් මෙහි පැවති නිසා මෙය කිණිහිර නම්වන බව ගම්වැසියන්  අතර ප්‍රසිද්ධ මතයක් පවතින අතර දුරින් බලන විට මෙය වංගෙඩියක් හා මෝල් ගහක් ලෙස දිස්වේ.

                         මුලින්ම මට රාක්ෂාව කන්ද පිළිබඳව තොරතුරු දැනගැනීමට ලැබුණේ මගේ මිතුරෙක් මගිනි .ගස් ගල් මතින් නගිමින්, වල් ඌරු රංචු මගහරිමින් මීදුම මැදින් අසීරුවෙන් පාර සොයාගනිමින් ඔහු මිතුරන් සමග  කුඩාකල කන්ද තරණය කළ හැටි විස්තර කළේ සුරංගනා කතාවක කොටසක් මෙනි .ඒ කතාව ඇසූ මම එම සති අන්තයේම   රාක්ෂාව නැගීමට තීරණය කළෙමි .එවිට යන මග මතක නැති බැවින් මග පෙන්වනෙකු සොයාගත යුතු බවත්  එසේ පුද්ගලයෙකු සොයාගත් පසුව අපට දන්වන බවට ඔහු පොරොන්දු විය.මග පෙන්වීමට ඔහුට ප්‍රදේශවාසී මිතුරෙකු කැමති කරවාගත හැකිවූ නිසා එම සති අන්තයේම කඳු නැගීමට යොදාගැනීමට අප වාසනාවන්ත  විය .

 කිණිහිර
                                              සෙනසුරාදා දින උදෑසනම ගම්පොල නගරයට එකතුවුණු අප කණ්ඩායම දොළොස්බාගේ බස් රථයට නැගුණේ මිතුරාගේ උපදෙස් පරිදි පරගල පන්සල අසලින් බැසගැනීමටයි.(නාවලපිටිය සිට දොළොස්බාගේ කරා ධාවනය වන බස්වල ද පරගලට පැමිණිය හැක.)පැය එකහමාරක්  පමණ තේ වතු හරහා වැටී තිබුණු අලංකාර මගක පැමිණි අපට පරගලට ළඟාවීමට හැකිවිය.අපේ මිතුරා බස්නැවතුමේදී අපව පිලිගෙන අසල නිවසකට ගමන්කරේ මග පෙන්වීමට කැමති වූ ඔහුගේ මිතුරා කැඳවා ගැනීමටයි.අපේ මගපෙන්වන්නා සමග මිනිත්තු කිහිපයක් කතා කිරීමේදී අප අතර පොදු යහළුවන් රැසක් සිටින බව දැනගත හැකිවිය.එලෙස අපි කතාකරන අතර ඔහු "උඹල මොනවද කන්ඩ ගෙනාවෙ"යන වැදගත් ප්‍රශ්නය විමසුවේය.අප බත් පාර්සල් ගෙනා බව ඇසූ ඔහු පාන් නැත්නම් වැඩක් නෑ කියා පවුලේ වැඩිමලාගේ වරප්‍රසාද භාවිතාකර නංගීට පොල් සම්බෝලයක් සෑදීමට නියමකර අසල කඩයකින් උණු උණු පාන් රැගෙන ආවේය.කෑම ප්‍රශ්නය විසඳාගෙන අපි ගමන ආරම්භ කරද්දී උදෑසන දහයත් පසුවී තිබුනත් මග පෙන්වන්නාගේ සිතේ කිසිදු චකිතයක් ඇතිබවක් නොපෙනුණු බැවින් අපිත් වැඩි තැකීමකින් තොරව පිටත්වූයෙමු.
                                           
                  තේ වතු මැදින්                                             

                       
උඩ වැඩියා මලක්,පසුබිමින් ඇත්තේ කබරගලයි

                         තේ වතු මැදින් අපි හනි හනිකට ගමන්කරද්දී අපට කබරගල වෙත යාහැකි මාර්ගයද හමුවිය.කබරගල ඒ ප්‍රදේශයේ උසම කන්දවන අතර එය තරණය සඳහා ද ගමන් ආරම්භ කළයුත්තේ පරගලෙනි.තේ වත්ත අවසානයේ තිබූ කම්කරු නිවසක් අසලින් අපි වනාන්තරයට පිවිස කුඩා අඩිපාරක් ඔස්සේ ගමන් කළෙමු.කැලය තුලට සෑහෙන දුරක් ගමන්කළ පසු දැකගන්නට ලැබුණේ එම අඩිපාර මානා සහ කටු පඳුරු වලින් වැසී ඇති බවයි.
                     
කටු බූටාගෙඩි රසවත් උනත් පඳුරු ගමනට බාධාවකි 
                                       
කටු බූටා
                             
එකතැනක හිඳ කතාබහ කිරීමටවත් නොහැකි අන්දමින් කූඩලු ගහණය අධික වූ නිසා අපි ආපසු හැරී මගදී හමුවූ දිය පහරට සමාන්තරව ඉහලට යාම ඇරඹූවෙමු.මෑතකදී කියවීමට ලැබුණු ලිපියකට අනුව ඒ දිය පහර අසුපිනි ඇල්ල නිර්මාණය කරමින් ගමන් කරනා මාඔයේ ආරම්භයයි.ගල් ඉද්ද ගස් විශාල ලෙස අප ගමන්කළ මග තිබුණු අතර ඒවාගේ එල්ලෙමින් තිබුණු කරු මුල් තිර ඇද්දා හා සමානව මග හරහා තිබිණ.


 මාඔයේ ආරම්භය
                           
ගල් ඉද්ද ගස්  මැදින්  

                           සෑහෙන අමාරු ගමනකින් පසු ඈතින් පෙනුනු කඳු මුදුනට වඩා තරමක් පහල විවෘත තැනිතලා භූමියක් අපට හමුවිය.එසැනින් අපි  ඇඟට නැගි කූඩැල්ලන් සෙවීම ආරම්භ කළෙමු .ඒවන විට ගවේෂණ චාරිකාවලට ආධුනික වූ අපට කූඩැල්ලන්ට එරෙහිව තිබූ එකම අවිය සිද්ධාලේප ආලේප කිරීමයි.කූඩැල්ලන් නැගීම වැලැක්වීමට සිද්ධාලේප ගාගෙන සිටියත් තෙත් සහිත පඳුරු එය දියකර දමා තිබුණි.සපත්තු මේස් ගලවා බලනවිට එක තැන කූඩැල්ලන් රංචු පිටින් එක්ව ලේ බොන අයුරු දැකගන්නට ලැබුණි.කූඩැල්ලන් ඉවත්කර ලේ ගලායාම නැවතීමට බෙහෙත් යෙදීමෙන් අනතුරුව අපි ගෙනා කෑම කා මදක් විවේක ගැනීමෙන් පසු නැවත ගමන් ඇරඹූවෙමු.ඒ වනවිට  මග පෙන්වන්නාට නිවැරදි පාර සොයගත හැකි වූ නිසා ගමන තරමක් පහසු විය.නැවතත් කැලයට පිවිසි අපට තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවිය,ඒ මග දෙපස තිබූ බට පඳුරු නැවී අඩිපාර උමගක් බවට පත්කර තිබීමයි .හිස ඔසවාගෙන ගමන්කළ නොහැකි එම මාවතේ අප නැවීගෙන හනිකට ගමන්කළේ නැවත හැකි ඉක්මනින් එලිමහනකට පැමිණීමටයි.ඒමග අතර මග තැනින් තැන ගල් පඩි ද අපට හමුවුණි.
                 

                                             
     ගල් පඩි                            

 එලිමහනට පැමිණි අපට වංගෙඩියක් මෙන් පෙණුනු ගලේ තරමක් උඩට ගමන්කළ හැකි තැන හමුවිය.එය අංශක අසූවක පමණ බෑවුමක් සහිත අඩි විස්සක පමණ කන්දකි.වැසිවැටීමෙන් බුරුල් වූ පස් හා ගල් සහිත එය තරණය ඉතා අපහසු විය.ඒ මෙම කන්දේ ඉහලටම පැමිණි හැකි ස්ථානයයි,එතැන තරමක් වෙලා අවට පරිසරය රසවිඳි අප නැවතත් පහලට බැස්සේ මෝල් ගසක් මෙන් පෙණුනු ගල අසලට ගමන් කිරීමටයි. නැවතත් පෙර පරිදිම බට පඳුරු අතරින් ගමන්කළ අපට මෝල් ගස අසලට පැමිණිය හැකිවිය.සොබාදහමේ අලංකාර නිමැවුමක් වූ එය අසල විවේකීව කල්ගත කල අපි දිවා ආහාරය ගෙන පහළට බැසීම ඇරඹූවෙමු .පහළට එනවිට අපට පහසුවෙන් ගමන්කළ හැකි පාරක් කලින් විවේකගත් තැනිතලාව අසලින් හමුවූ බැවින් ඉක්මනින් ප්‍රධාන මාර්ගයට පැමිණීමට හැකිවිය.
බඩගාගෙන ඉහලටම

මෝල් ගස


                   මේ ගමන අවසානයේ ලද අත්දැකීම් නිසා කූඩැල්ලන්ට එරෙහිව කූඩලු මේස් පැළඳීමත්,පාන් එතැන්සිට සිදුකළ සෑම කඳු නැගීමක ප්‍රධාන ආහාරය කරගැනීමත් සිදුවිය .

Tuesday, May 16, 2017

ගල්බොඩ දිය ඇල්ල - Galboda falls

                          මැයි දිනයත් එක්ක ලැබුණු දිගු සති අන්තය අධික උණුසුම් කාලගුණය නිසා  ගෙදරට වෙලා ගතකරන්න තීරණය කරගෙන හිටියත් හදිසියේම පැමිණි නෑදෑ සහෝදරයන්ගේ බලාපොරොත්තුව වූයේ කෙසේ හෝ සංචාරයක යෙදීමයි.මැයි දිනය නිසා මහනුවර නගරය අවට ඇතිවිය හැකි වාහන තදබදය නිසා මගේ අදහස වුනේ දුම්රියෙන් ගමන්කළ හැකි ගල්බොඩ දිය ඇල්ල නැරඹීමට යෑමයි.


                           දිය ඇල්ල නැරඹීමට යාහැකි පහසුම ක්‍රමය උදෑසන බදුල්ල බලා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියෙන් ගමන්කර පසුව බදුල්ලේ සිට පැමිණෙන පොඩි මැණිකේ දුම්රියෙන් නැවත  පැමිණීමයි.ගෙලිඔය දුම්රිය නැවතුමෙන්  උදෑසන 9.10 ට පිටත්වූ අපට වන විට ගල්බොඩ දුම්රිය නැවතුමට ළඟාවීමට හැකිවිය.එතැනින් බැසගත් සියළුදෙනාම පාහේ අප වැනිම සංචාරකයන් බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි.දුම්රිය නැවතුමේ සිට නැවතත් පැමිණි දුම්රිය මාර්ගය ඔස්සේ තරමක් දුර පැමිණි පසු අපට  ගල්බොඩ වතුයාය හරහා ඇති දිය ඇල්ලට තෙක් දිවෙන මාර්ගයට පිවිසීමට හැකිවිය.එතැනින් දිය ඇල්ල නැරඹීමට යන සංචාරකයන් ප්‍රාදේශීය සභාව විසින් නිකුත්කරන  ප්‍රවේශ පත්‍ර ලබාගත යුතුය.එතැන්සිට යායුතු මාර්ගය සෑහෙන දුරක් දක්වා වාහන ධාවනය කළහැකි මට්ටමින් පවතින්නකි.


දුම්රිය මාර්ගය හා පාගමනින් පැමිණි මාර්ගය

අතරමග දිය කඩිති

                       කිලෝමීටර දෙකක් පමණ පාගමනින් ගමන්කළ අපට  දිය ඇල්ල පෝෂණය කළ දිය පහර හමුවුණි.මීට වසර කිහිපයකට පමණ පෙර මා මුලින්ම පැමිණි වාරයේ දිය පහර තරණය කළේ ඒ හරහා ඉදිකර තිබුණු බැම්මක් මතට අසීරුවෙන් නැගීමෙනි.එවර දිය ඇල්ල අසලට  පැමිණියේ වැසි කාලයේදී බැවින් මඩේ එරෙමින්,කූඩලු ප්‍රහාර විඳිමින්  ගල් ඉද්ද ගස් අතරින් රිංගමින් දුෂ්කර ගමනකින් අනතුරුවයි .නමුත් මේවන විට ගමන්කළ යුතු මාවත ඉතා හොඳින් නිමවා ඇත්තේ දිය පහර තරණයට වැල් පාලමක්ද තැනීමෙනි.
                  
වැල් පාලමෙන් එගොඩට



                     
                     මෙවර දිගු වියලි කාලයකට පසුව අප පැමිණි නිසා දිය ඇල්ලේ සුන්දරත්වය මදක් අඩුවී තිබුණත් එය අපට ඇල්ල පාමුලටම යාමට පහසුවක් විය.විනාඩි කිහිපයක් පමණක් ඡායාරූප ගැනීමට වැයකර ඉක්මනිනම් වතුරට බැසගත්තේ පාගමනේ වෙහෙස දියකර හැරීමටයි.


වතුර තරමක් අඩු නිසා සුන්දරත්වය අඩුවී ඇත
මීට පෙර සංචාරයකදී ගත් ඡායාරූප

මීට පෙර සංචාරයකදී ගත් ඡායාරූප

               සීතල වතුරේ පැය ගණනක් ගතකළ අප නැවත ගොඩට පැමිණියේ 2.20 පොඩි මැණිකේ දුම්රිය අල්ලාගත යුතුවූ බැවිනි.ඉක්මනින්  රැගෙන ආ දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව අප දුම්රිය ස්ථානය බලා නැවත ගමන් ඇරඹූවේ සුන්දර දවසක නිමාව සනිටුහන් කිරීමටයි.