Wednesday, July 19, 2017

දිවිදොස් කන්ද සංචාරේ

                     
 දිවිදොස් කන්ද                 
                        දිවිදොස් කන්ද නැත්නම් ගන්නෝරුව රක්ෂිය හෙක්ටයාර 64ක් වසා පැතිරී තිබෙන තරමක් කුඩා  වනාන්තරයක්.මෙම කන්ද සහ අවට ප්‍රදේශය සම්බන්ධ ජනප්‍රවාදයක් වන දිවිදෝෂයේ කතාව මීට පෙර ලිපියේ මා සඳහන් කළා.තවත් මෙම ප්‍රදේශය සම්බන්ධ ඉතාමත්  වැදගත් සිදුවීමක් වන්නේ 1638 සිදුවූ විජයග්‍රාහී ගන්නෝරුව සටනයි.මෙහිදී දෙවන රාජසිංහ රජුගේ මෙහෙයවීමෙන්  දියෝගෝ ද මේලෝ නායකත්වය දැරූ පෘතුගීසි හමුදාව පරාජය කරන ලදී. කෙසේවෙතත් දිවිදොස් කන්ද මට වැදගත් වන්නේ එය මවිසින් තරණය කළ පළමු කන්ද නිසාවෙනි .ඒ කාලයේ දැන් මෙන් කඳු නැගීමේ උණක් නොතිබුණත් මම පාසලේ සංගමයකින් සංවිධානය කළ ගවේෂණ චාරිකාවට එක්වුණේ මිතුරන් සමග ඇවිදීමට තිබූ ආසාව නිසාවෙනි . එයට තවත් හේතුවක් වූයේ ඒ දිනවල පදිංචිව සිටි නිවස මේ කන්දට ඉදිරියෙන් පැවතීමයි.එයින් පසු කඳු ගණනාවක් තරණය කළත් දිවිදොස් කන්දට නැවතත් යාමට  අවස්ථාවක් ලැබුණේ මෑතකදීය .ගමන ආරම්භ කිරීමට  රණබිම රාජකීය විද්‍යාලය ඉදිරිපිටදී අපේ කණ්ඩායම එක්විය . (මහනුවර සිට  මුරුතලාව,ගන්නෝරුව හෝ යටිහලගල බස්‍ රථ වලින් රණබිම රාජකීය විද්‍යාලය අසලට පැමිණිය හැක) පාසල පිටුපසින් ඇති මාර්ගය ඔස්සේ ගමන්කළ අප රක්ෂිතය පාමුල ඇති කුඩා ක්‍රීඩාංගනය වෙත ආවේ වනාන්තරයට ඇතුල්වීමට එතැනට  පැමිණි බවට යම් මතකයක් පැවති බැවිනි.

දං කැලය මැදින් ඉදිරියට                       
                                             දං ගෙඩි සමග මල්
අතරමගදී....
                  ක්‍රීඩාංගනය කෙළවර තිබුණු දං කැලය මගේ මතකයේ හොඳින්ම පැවතුණු නිසා අපි එතැනින් කැලයට පිවිසීමට තීරණය කළෙමු.අතරින් පතර තිබූ ඉදුණු දං ගෙඩි කමින් ඉදිරියට ගමන්කළේ හල්ඔළුව පාරට මුහුණලා ඇති ගල්පොත්තට ලඟාවීමටයි.දිවිදොස් කන්ද මුදුන ගස්වලින් ආවරණය වීම නිසා අවට නිරීක්ෂණයට හැකිවන්නේ එම ගල්පොත්තේ සිට සහ දිවිදොස් ගලේ සිට පමණයි.තරමක මහන්සියකින් පසු අපට ගල්පොත්තට ලඟාවීමට හැකිවුණි ,එතැන සිට මහවැලි ගඟ සහ ප්‍රිම්රෝස් කන්ද හොඳින් දැකගැනීමට හැකිවිය .මෙහි සිට මහවැලි ගඟේ පෙනෙන්නට තිබෙන කොටසේ ගල්පර බහුලව ඇති නිසා ගඟ ගලායන්නේ හඬනගාගෙන සුදු පෙන නගමින්  තරමක වේගයෙනි .(මහනුවර අවට දියේ ගිලීමෙන් සිදුවන අනතුරු බොහොමයක් සිදුවන්නේ එම කොටස ආශ්‍රිතවයි.)
                                
පළමු ගල්පොත්තට පෙනෙන දර්ශනය.(මහවැලි ගඟ අසල ඇත්තේ ප්‍රිම්රෝස් කන්දයි )



පුස් වැල

පුස් වැල
                                    ගල්පොත්ත මත හිඳ තරමක් වෙලා ගතකළ අප නැවත ගමන් ඇරඹුවේ දිවිදොස් ගල වෙත යාමටයි.දිගින් දිගටම ගමන්කළ අපට තරමක් විශාල පුස් වැලක් හමුවිය.එවිට මට වැටහුණේ අප දිවිදොස් ගල පසුකර පැමිණ ඇති බවයි.ආපසු හැරුණු අප කන්දේ දකුණු බෑවුමට ආසන්නව ගමන්කළේ නැවතත් දිවිදොස් ගල මගහැරීම වලක්වා ගැනීමටයි .අතරමගදී  තැනින් තැන රතුපැහැ රෙදි පටිවලින් මග සලකුණුකර තිබෙනු හමුවූ බැවින්  අප නිවැරදි මගට පැමිණි බව පැහැදිලි විය.මෙහි සිදුකරන පාසල් ගවේෂණ තරඟ සඳහා මෙලෙස මග සලකුණු යෙදීම සිදුකරන අතර පසුව ඒවා බොහොමයක්  ඉවත්කරන නිසා එම සලකුණු  ඔස්සේම ගමන්කිරීම අපහසු කරුණකි.සාමාන්‍යයෙන් දිවිදොස් කන්දේ ගවේෂණ තරඟ සංවිධානය කරන්නේ රණබිම රාජකීය විද්‍යාලයෙනි.(මෙලෙස විවිධ පාසල් ගවේෂණ තරඟ සංවිධානය කරන තැන් පවතී.උදාහරණයක් ලෙස  හන්තානේ කිංස්වුඩ් විද්‍යාලයේ ගවේෂණ තරඟ පවතී) දිවිදොස් ගල වෙත ගමන්කළ යුත්තේ තරමක අපහසුවෙනි. දිවිදොස් ගලට දකින්නට ලැබෙන දර්ශනය අපහසුවෙන් පැමිණි ගමනට ලැබෙන ත්‍යාගයක් බඳුය.

 දිවිදොස් ගලට පෙනෙන දර්ශනය
                       වම්පසින් හන්තාන කඳුවැටිය දකින්නට ලැබෙන අතර එතැන්සිට මොණරාගල /Peacock hill( ඌව පළාතේ  මොණරාගල නොවේ),අම්බුළුවාව,බතලේගල සහ අලගල්ල යන කඳු සියල්ලම නැරඹිය හැක.මෙතැනට මුලින්ම පැමිණි විටදී මේ කඳු පෙන්වාදුන් ගුරුතුමාගේ නමත් අලගල්ල නිසා ඒකාලයේ මගේ මතකයේ තිබුණේ අලගල්ල කන්ද පමණයි .මෙතැන් සිට පේරාදෙණිය උත්භිත උද්‍යානයත් මහවැලි ගඟ එය වටකරගෙන ගලාබසින ආකාරයත් දැකිය හැක. කලින් සඳහන් කළ පරිදි ගන්නෝරුව සටන මෙම ප්‍රදේශයේ පැවති අතර වැස්සට තෙමුණු වෙඩිබෙහෙත් පෘතුගීසින් විසින් කඳුපාමුල වියලද්දී සිංහල  දුනුවායන් දිවිදොස් ගලේ සිට ඊතල වලට ගිනිතැබූ කරුංකා සවිකර විදීමෙන් ඒ වෙඩිබෙහෙත් විනාශකර දැමූ බවට මතයක් ප්‍රදේශවාසීන් අතර  පවතී .එම මතයම දිවිදොස් ගල වෙනුවට ප්‍රිම්රෝස් කන්ද ආදේශ වී  අන්තර්ජාලයේ ඇතැම් අඩවිවල දකින්නට  ලැබුණි .කෙසේවෙතත් ප්‍රිම්රෝස් කන්දට වඩා දිවිදොස් ගලේ සිට පහතට පහරදීමේ හැකියාවක් ඇතිබව මගේ අදහසයි.තවද මෙයට පහලින් ඇති ප්‍රදේශයත් රණබිම නම්වීමම යුද්ධය මෙහි පැවති බවට සාක්ෂියකි .ඉන්පසු අපගේ අදහස වූයේ ආපසු යාමටයි.නිවැරදි පාර සොයාගත් පසු පහළට යාමට අපට ගතවූයේ විනාඩි විස්සක් පමණයි.සාමාන්‍යයෙන් මෙම වනය සතුන් නිරීක්ෂණයට ඉතා යෝග්‍ය වුවත් අප පැමිණියේ දහවලක බැවින් අපට ඒ සඳහා අවස්ථාවක් නොවීය.එහෙත්  අපට සමනල විශේෂ කිහිපයක්,පිනුම් කටුස්සෙක් සහ වැලිමුවන් දෙදෙනෙකුත් දැකගන්නට හැකිවූ නමුත් ජංගම දුරකථනයෙන් එම  සතුන් ඡායාරූප ගතකළ නොහැකි විය.

අතරමගදී....
දිලීර වර්ගයක්

කන්දේ එක් බෑවුමක වැඩී ඇති මහෝගනී ශාක.(දැව සඳහා වටිනා වුවත් මෙම ආක්‍රමනශීලී ශාකජෛව විවිධත්වයට අහිතකර බලපෑමකි )