Friday, August 18, 2017

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මුදුනට



                      මෙවර සංචාරක සටහන ලියවෙන්නේ  බඹර කන්ද දිය ඇල්ල මුදුනට සහ  ලංකා ඇල්ල නැරඹීමට මා කළ සංචාරය පිළිබඳවයි .බඹර කන්ද දිය ඇල්ල ( උස මීටර් 263) ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලයි නමුත් ලෝකයම සැලකූ විට මෙයට හිමිවන්නේ 299 වන ස්ථානයයි. 

 බඹර කන්ද දිය ඇල්ල

                        සති අන්තයක මගේ සහෝදර පිරිස සමග මේ ගමන යාමට කතාකරගත් කරගත් අපගේ බලාපොරොත්තුව වුනේ කලින් දවසේ බණ්ඩාරවෙල මහගෙදරට එකතුවී උදෑසනම පිටත්වීමටයි.සිකුරාදා හවස් වනවිටත් මගේ වැඩ කටයුතු නිමා නොවූ නිසා මම තීරණය කලේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන්කර උදෑසන කෙලින්ම ගමනට සම්බන්ධ වීමටයි.සාමාන්‍යයෙන් බසයෙන් පැය හතරක් පමණ ගතවන ගමනට දුම්රියෙන් පැය හතකට ආසන්න කාලයක් ගතවුනත් නිදහසේ ගමන්කළ හැකි නිසා මම කැමැත්ත දක්වන්නේ  සාමාන්‍යයෙන් දුම්රියෙන් ගමන් කිරීමටයි.ගම්පොළ දුම්රිය ස්ථානයට ගිය පසු බලාපොරොත්තුවූවාට වඩා සෙනගක් දකින්නතෙක් මට ඒ සිරිපා වාරය බව අමතකව තිබිණි .හැටන් දක්වා අනිවාර්යයෙන්  හිටගෙන යාමට සිදුවුවත් එතැන්සිට වාඩිවීමට ඉඩක් ලැබෙයි යන බලාපොරොත්තුවෙන් සිටිද්දී නිවේදනයක් නිකුත්කෙරුණේ සිරිපා සමය වෙනුවෙන් විශේෂ දුම්රියක් කොටුවේ සිට හැටන් දක්වා යොදා ඇති බවයි.රාත්‍රී තැපැල් දුම්රියට කලින් පැමිණි එහි සිටියේ ආසන ගණනටත් අඩු මගීන් පිරිසකි.(මේ දුම්රියේ පැමිණි බීමත් පුද්ගලයෙක්  සිහිල් සුලං ගත දැවටෙමින් පා පුවරුවේ සිට සුළුදිය පහකිරීමට පටන්ගෙන ඇත.එයින් ඇතිවූ ගැටළුව නම් ඔහුට දුම්රිය නැවතුමට පැමිණි බව අමතක වීමයි.සූටි කයියා එළියේ දමාගෙන පැමිණි ඔහු පියවි සිහියට පැමිණියේ ස්ථානාධිපතිතුමාගේ කෑගැසීමටයි) එම දුම්රියට නැගී හැටන් වලදී නැවතත් රාත්‍රී තැපැල් දුම්රියට මාරුවීමට හැකියාව තිබුණත් දිගටම එකම අසුනටවී නිදාගැනීමට සිතා මම එයට නැගීමෙන් වැළැකුණි .
                තරමක් පමාවී පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය දුටු මට දෙවියන් සිහිවිය.පා පුවරුවෙන් ඇතුලට යාමටවත් නොහැකි ලෙස මගීන්ගෙන් පිරී තිබුණු එයට සෑහෙන අමාරුවෙන් රිංගා ගැනීමට හැකිවිය .මෙම දුම්රියට ගම්පොළ දී කඳුකරය තරණයට අමතර ජවය සැපයීමට පිටුපසින් එංජිමක් සවිකරන නිසා ඒ ප්‍රමාදයත් සමග මට බැසයාමට සිත්වුනත් කෙසේ හෝ හැටන් දක්වා හිටගෙන යාමට  හිත හදාගතිමි. කල්පයක් තරම් දැනුණු පැය කිහිපයකින් පසු හැටන් වලට පැමිණි පසු  බැස ගිය පිරිස මෙන් දෙගුණයක් දුම්රියට නැගීමට සිටියෙන් මා පත්වූයේ කබලෙන් ලිපට වැටුණා වැනි තත්වයකටයි.එතැන්සිට බණ්ඩාරවෙලට ගමන්කළ පැය හතරක පමණ කාලය තුළ මට කකුල් දෙක සෙලවීමටවත් ඉඩක් නොතිබිණි .තත්වය මීටත් වඩා නරක් වීමට ඉඩක් නැතැයි හිතද්දීම සිරීපා කරුණාකර පැමිණි පිරිසගේ කරුණාව ඉවර වී තිබුණෙන් දුම්රිය මැදිරිය පුරා තැන තැන රණ්ඩු සරුවල් ඇරඹිණි .හෙලවීමටවත් බැරිව සිටිද්දී  මේ රණ්ඩු විසඳීම  උත්සහ ගත්තත් එය  කිසිදු ප්‍රතිඵලයක් නොමැති ගමණේ ඒකාකාරීත්වය නැතිවීමට හේතුවක් පමණක්ම විය .

හිමිදිරියේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය
                                               රෝද මත අපායෙන් මිදී ගෙදර පැමිණි මට අනෙක් අය සූදානම් වෙනතෙක් පැය දෙකක් පමණ නිදාගැනීමට හැකියාවක් ලැබුණි .මෝටර් රථයකින් බදුල්ල කොළඹ පාරේ කොළඹ දෙසට ගමන් ආරම්භ කළ අපේ පළමු නැවතුමවූයේ හපුතලේ නගරයයි.මට සිතෙන ආකාරයට ලංකාවේ අලංකාරම දර්ශනයක් සහිත නගරය හපුතලේ නගරයයි.ලංකාවේ  විශාල ප්‍රදේශක් මෙහි සිට කුරුළු ඇසින් නැරඹීමට හැකිය.(ලිප්ටන් සීට් නැරඹීමට දඹේතැන්න වතුයාය දෙසට ඇති මාර්ගය ඇරඹෙන්නේද හපුතලේ නගරයෙනි)

හපුතලේට පෙනෙන සුන්දරත්වය
                         
                                  තරමක් වෙලා අවට නරඹමින් සිට  අප ගමනාරම්භ කළේ ඉන්පසු කෙලින්ම බඹරකන්ද දිය ඇල්ල බලා යාමටයි .කළුපහන හන්දියෙන් හැරී යකාගේ පඩිපෙළේ (පඩිපෙළ කිව්වට තාර පාර) තරමක් දුර ගමන්කළ පසු අපට දිය ඇල්ල පළමුවරට දැකගැනීමට හැකිවිය.

 බඹර කන්ද දිය ඇල්ල

 බඹර කන්ද දිය ඇල්ල

                                     
 බඹර කන්ද දිය ඇල්ල
                                           
                                     පිවිසුම අසල ප්‍රවේශපත් කාර්යාලයෙන් දිය ඇල්ල මුදුනට යාහැකි ආකාරය අසාගත් අප දැනගත්තේ ඇල්ල පාමුලින් වම්පසට ඇති අඩිපාරේ ගමන්කළ යුතු බවයි.(මේ සංචාර මා සිදුකළේ වසර තුනකට පෙරදී වන අතර මෙම වසරේ තරුණයෙක් දිය ඇල්ල මුදුනින් ඇදවැටීම නිසා දැන් ඇල්ල මුදුනට අවසරයකින් තොරව ගමන් කිරීම තහනම් කර ඇතැයි දැනගන්නට ලැබුණි .)දිය ඇල්ල පාමුල තෙක් මාවත හොඳින් නිමකර තිබුණි .පාසල් නිවාඩු කාලයක සති අන්තයක් බැවින් ඇල්ල පාමුල සෑහෙන සෙනගක් දිය නාමින් විනෝද වෙමින් සිටි නිසා අපි ඉක්මනින් පයිනස් කැලය හරහා දිය ඇල්ල මුදුනට ගමන් ඇරඹූවෙමු .පොඩි කාලයේ පයිනස් කැළෑවල ලිස්සා වැටී  අත්දැකීම් සපිරි අපි ලිස්සන සුළු කොළ මතින් ප්‍රවේශමෙන් ගමන් කළෙමු.

පයිනස් කැලය තුලින් ඉදිරියට
                           
පයිනස් කැලය තුලින් ඉදිරියට
                                             
   තරමක් ඉහලට ගමන්කළ විට අඩිපාර දෙකට බෙදුනු අතර පහළට ගමන් කිරීමෙන් ලංකා ඇල්ල නැරඹීමට හැකි අතර ඉහලට ගමන් කිරීමෙන්  බඹරකන්ද ඇල්ල මුදුනට ගමන්කළ හැකිය.තරමක සෙනගක් ඉහලට ගමන්කළ නිසා අපගේ තීරණය වූයේ ලංකා ඇල්ල නැරඹීමට යාමටයි .ලංකා ඇල්ලට එම නම ලැබී ඇත්තේ ඇල්ල පාමුල ගලෙන් නිර්මාණය වී ඇති පොකුණේ හැඩය ලංකා සිතියමට සමාන නිසාවෙනි.( පෙනෙන්නේ ඕවලාකාර හැඩයකි)

ලංකා ඇල්ල බලා යන මග.

ලංකා ඇල්ල බලා යන මග.

 ලංකා ඇල්ල
                                            ඇල්ල නිර්මාණය කළ වතුර  පහර ඔස්සේ තරමක් පහලට ගමන්කරද්දී  ඉන තෙක් ගැඹුරු තැනක්  හමුවූ අතර අප එතැන දිය නෑමට තීරණය කළේ අන් කිසි තැනක දණහිස් තෙමෙන් තරම්වත් වතුර නොතිබූ බැවිනි .දිය නෑමෙන් පසු පිසදමා ගැනීමට තුවා ගෙනැවිත් නොතිබූ නිසා අසල ගල් තලාවකට වී  අපි ඇඟ වේලෙනතුරු නිදාගතිමු.ඉන්පසුව නැවතත් පැමිණි මග ඔස්සේම ගමන්කළ අපි බඹරකන්ද දිය ඇල්ල මුදුනට යාම ඇරඹූවෙමු .ඇල්ල මුදුනට ආසන්නව තිබුණු අඩි දහයක පමණ නෙරුම අගනා නැරඹුම් ස්ථානයක් වුවත් එතැනට ගමන් කිරීම ප්‍රවේසමෙන් කළ යුතුය .(වැටුණොත්  ඇත්තේ මීටර් 250කට වැඩි ප්‍රපාතයක් !! ) 
නෙරුමේ සිට දියඇල්ල පෙනෙන අයුරු
     
බඹරකන්ද දිය ඇල්ල මුදුනේ ඇති දිය ඇල්ල
                                                                           හෙමිහෙමින් ලංකාවේ උසම දිය ඇල්ල මුදුනට පැමිණි අපට දැකගන්නට ලැබුණේ ඒ මත පිහිටි තවත් දිය ඇල්ලකි.(එහි නමක් දැනගන්නට නොලැබුණි ) එය පාමුල අලංකාර පොකුණක් ඇති අතර එයින් බඹරකන්ද ඇල්ල නිර්මාණයවේ.ලංකාවේ උසම ඇල්ල වුවත් එය පෝෂණය වන දිය දහර ඉතාමත් කුඩා එකකි.ඒ අසල යට ඇඳුමින් පමණක් සැරසී  බීමතින් සිටි පිරිසක් නිසා නිදහසේ පරිසරයේ සිරිය විඳගැනීමටවත් ඡායාරූප ගැනීමටත් නොහැකිවිය.සුන්දර කඳු මුදුනේ සිට අසුන්දර මතකයක් සමග පහලට පැමිණි අප නැවත ප්‍රධාන පාරට පිවිස ගමන් කළේ පාළම් දෙක අසලටයි .මෙතැන සංචාරකයන් අතර විවේක ගැනීමට ප්‍රචලිතය.එතැන දිය ඇලි අසලට වඩා වතුර  තිබූ බැවින් අපි දිනය නිමා කළේ නැවතත් පැය ගණනක් දියනෑමෙනි.

පාළම් දෙක (ඡායාරූපය google street view ඇසුරිණි)

Thursday, August 3, 2017

ලංකාවේ තෙවැනියට උසම තොටුපොළ කඳු මුදුනට

                                             මම ජූලි මාසය  ආරම්භ කළේ කිහිප වරක්ම සැලසුම් කළත් ඉටුකරගැනීමට නොහැකි වූ තොටුපොළ කන්ද තරණය කිරීමෙනි(මුහුදු මට්ටමේ සිට උස 2357 m) .කිරිගල්පොත්ත තරණය පිළිබඳ  ලියූ සටහනේදී මම සඳහන් කළා ලංකාවේ තෙවැනියට උසම කන්ද වන තොටුපොළ කන්දත් පිහිටා තිබෙන්නේ මහ එළිය තැන්නේ බව.මීට පෙර හැම වරෙකම මෙම සංචාරය කිරීමට නොහැකි වූයේ ලෝකාන්තය  හෝ කිරිගල්පොත්ත නැරඹීමට  යාමෙන් පසු කාලය මදිවීමෙන් හා මහන්සිය වැඩි  නිසාවෙනි .එමනිසා මෙවර අපගේ බලාපොරොත්තුව වූයේ මුලින්ම තොටුපොළ නැගීමයි.වෙනදාට  දුම්රියෙන් ගමන්කර ඉතිරි  මුළු දුරම පාගමනින් යන අප මෙවර වෑන් රථයකින් යාමට යාමට තීරණය කළේ මිතුරියන් පිරිසකුත් ගමනට එක්වීම නිසාවෙනි .උදෑසනම නුවරින් පිටත්වුනු අප නුවරඑළියේ නැවැත්වූයේ උදෑසන ආහාරය ගැනීමටයි.සීතලේ වෙව්ලමින් සිටි අපට මස් හොදි සමග ලැබුණු  උණු උණු පරාටා දිව්‍ය භෝජනයක් බඳු විය. කෑම අවසන් කළ සැනින් ප්ලේන්ටියක් පානය කළේ තවදුරටත් සීතල පරාජය කිරීමටයි .

  ප්‍රවේශපත්  කාර්යාලය අසල   පොකුණ 
   
                                 ඉන්පසු නැවත ගමන් ආරම්භ කළ අපට මහ එලිය තැන්නට ආසන්නවත්ම  පෙනෙන්නට තිබුණේ ප්‍රවේශපත් නිකුත්කිරීමේ කාර්යාලය ඉදිරියේ පැවති දිගු වාහන පෝලිමයි.මාත් තවත් මිතුරෙකුත් වාහනයෙන් බැස ප්‍රවේශපත් කාර්යාලට ගමන් කළෙමු.කුඩා පොකුණක් ආසන්නයේ ඒ මතම වාගේ පිහිටා තිබුණු කාර්යාලය අසල සීතල දෙගුණ තෙගුණ වී පැවතියෙන් වෙව්ලමින් පෝලිමේ සිටීමට සිදුවිය .ප්‍රවේශපත් කවුළුවේ සිට මද දුරක් ගමන්කළ පසු අපට තොටුපොළ කන්ද පිවිසුම අසලට ලඟාවීමට හැකිවිය.බලාපොරොත්තු වූ පරිදිම ඒ අසල වාහන දකින්නට නොලැබුණේ මේ පිළිබඳ ඇති සංචාරක අවධානය අඩු බව පිළිබිඹු කරමින්.

ගමන්මගේ ඇරඹුම


වනය මැදින් ඇති අඩිපාර.(මෙහි පැහැදිලිව වියන් ස්ථරය හා පහත පඳුරු ස්ථරය දැකගත හැක)


වැසි,සුලං වලට ඔරොත්තුදීමට ඇඹරුණු අතු සහිත ගස්.(මේවායෙන් කෙඳි මෙන් එල්ලෙන්නේ මා සිතන ආකාරයට Fruticose
 වර්ගයට අයත් ලයිකන විශේෂයකි )

                                    ඒ අසල තිබුණු පුවරුවක සඳහන්කොට තිබුණේ රාවණාගේ දඬුමොණරය ගුවන්ගත කිරීමට භාවිතා කළ නිසා මෙම කන්ද තොටුපොළ කන්ද නම්වන බවයි .අඩිපාර ආරම්භයේ ගල් අල්ලා සකස්කර තිබුණත් ඉන් ඉදිරියට පැවතුණේ කැලය මැදින් වැටුණු පටු අඩිපාරකි.ලයිකන එල්ලෙමින් තිබුණු තෙතබරිත වූ ගස් මීදුම් සහිත කාලගුණයත් සමග පරිසරය යම් ගුප්ත ස්වභාවයකට දිස්විය.අඩිපාරේ ඇතැම් මග වැරදීමට හැකි තැන්වල නිවැරදි මාවත පෙන්වීමට පුවරු සවිකර තිබීම ඉතා ප්‍රයෝජනවත් විය .

මග පෙන්වන පුවරු

බෝවිටියා මල්
                      තරමක් ඉහලට ගමන්කරද්දී  මග දෙපස අලංකාර බෝවිටියා මල් පිරී තිබුණි .වෙනත් ප්‍රදේශ වලට වඩා තෙත් කලාපයේ කඳු ආශ්‍රිතව දකින්නට ලැබෙන ශාකවල වර්ණ තීව්‍රතාව වැඩි නිසා ඇසට පෙනෙන සෑම දෙයකම සුන්දරත්වය ඒහා සමානව වැඩිවී තිබිණි .ලංකාවේ තෙවැනියට උසම කන්දට යන ගමන්මග වුවත් කිසිදු සීඝ්‍ර නැගීමක් නොමැති වීම අපට  තරමක පුදුමයක් විය .තරමක පහසු ගමනකින් පසු කඳු මුදුනට පැමිණි අපට දැකගන්නට තිබුණේ මීදුමෙන් වැසුණු පරිසරයක් තුලින් නැගීසිටින සම්ප්‍රේෂණ කුලුනකි.

මීදුම අතරින් කණ්ඩායම ඉදිරියට

කඳු මුදුනේ සම්ප්‍රේෂණ කුලුන

                        වෙනදාට කඳු මුදුනකට පැමිණි විට දැනෙන හැඟීම මෙහිදී නොදැනුනේ පහසුවෙන් ලඟාවීමත් මීදුම නිසා අවට කිසිවක් නොපෙනීමත් නිසාවෙනි. අපහසු ගමනකින් සැතැපුම් ගණනක දුරක් දෙපයට පහතින් තිබෙනු දකිද්දී ලැබෙන ආශ්වාදය මෙවැනි සංචාර සඳහා මා පෙළඹෙන ප්‍රධාන හේතුවකි.මේ ගමනෙන් එම ආශ්වාදය නොලැබුනත් ලංකාවේ තෙවැනියට උසම කඳු තරණයේ මතක සිතේ සටහන් කරගනිමින් නැවතත් පසුකර ආ මනරම් අඩිපාර ඔස්සේ පහතට ගමන් ඇරඹූවෙමු .
                       



ගස් බෙනයක වැඩෙන මෙම අපිශාකය මට පෙනුනේ මව් කුසක ඇති කළලයක් වගේ

මහ ගහක් තව ශාක ගණනකට නිවහනක්වන හැටි.
  

                               
                                   කඳු මුදුනට පැමිණ ආපසු යාමට මුළු දුර ආසන්න වශයෙන් කිලෝමීටර හතරක්වන අතර එම දුර යාමට අපට පැයකුත් විනාඩි හතලිහක කාලයක් ගතවී තිබුණි.පහතට පැමිණි අප තීරණය කළේ කාලවේලාව පවතින බැවින් ලෝකාන්තය නැරඹීමට යාමටයි.(ඒ ගමනේ කතාව වෙනත් ලිපියකින් ලිවීමට බලාපොරොත්තු වෙමි)