Sunday, April 23, 2017

බ්‍රැන්ඩි බොන්න යමු බ්‍රැන්ඩි ගල - Brandy Rock Matale

                      මාතලේ පැත්තෙ සංචාරය කරන ගවේෂණ චාරිකාවලට කැමති සංචාරකයෙක් යායුතුම් තැනක් තමයි බ්‍රැන්ඩි ගල.යටත් විජිත සමයේ වැවිලිකරුවන් විවේකීව මත්පැන් තොලගෑමට මෙහි පැමිණි නිසා මෙය බ්‍රැන්ඩි ගල ලෙස නම්වී ඇතිබව සාමාන්‍ය පිළිගත් මතයයි.
                 මේ සංචාරය මගේ කළයුතු ලැයිස්තුවේ  කාලයක් පැවතුනත් තොරතුරු මදකම නිසා සංචාරය කළ නොහැකිවූවකි. මේ ගමන පිටත්වන විට අප දැන සිටියේ මාදිවෙල බස්  රථයෙන් ගමන් කිරීමෙන් කඳුපාමුලට යාහැකි බව පමණක්ම විය.මාතලේ නගරයේ අඹ ගහ මුල(දැන් අඹගස ඉවත්කර වසර ගණනකි) හා නුග ගහ මුල ලෙස බස්නැවතුම් දෙකක් ඇති අතර ඉන්  නුග ගහ මුල බස්නැවතුම නුවර බස් සඳහා වන බව දැන සිටි නිසා මම මාදිවෙල බස්රථ අනිවාර්යයෙන් අඹ ගහ මුල බස්නැවතුමේ ඇතිබව පවසා මිතුරන් කැඳවාගෙන ගියෙමි.නමුත් එතැනදී දැනගැනීමේ ලැබුණේ අප ගොංගාවෙල බස්නැවතුමට යායුතු බවයි.මාතලේට ආසන්නව කුඩාකළ ජීවත් වුවත් එවැනි නමක් මා ඇසුවේ ප්‍රථමවරට විය .(මාතලේ ආසන්නව සිටියත් මම නගරයට පැමිණියේ දෙමව්පියන් සමග නුවර බස් එකට නැගීමට පමනක්විය.)ගොංගාවෙල බස්නැවතුම දුම්රිය ස්ථානයට නුදුරින් ඇතිබව දැන ගත්විටඅප ඉක්මනින් ගමන් ආරම්භ කළේ  එම බස් රථය මගහැරුනොත් පැය ගණනාවක් මග රස්තියාදු වීමට සිදුවන නිසා සහ වෙනත් විකල්ප බස්‍ රථ ගැන අපි නොදැනසිටි නිසාත්ය.සුපුරුදු පරිදි  අපගේ වාසනා මහිමයෙන් මාදිවෙල බලා පිටත්වන එකම බස් රථය විනාඩි කිහිපයකින් මගහැරී තිබුණි.
                               මෙය උදෑසන ආහාරය ගැනීමට ලැබුණු අවස්ථාවක් ලෙස සලකා අපි අසල තිබුණු කඩයක් හිස් කිරීමට තීරණය කළෙමු .අප කෑම ගනිමින් කතා කළේ  ඉදිරියට ගතයුතු පියවර පිළිබඳවයි.එම කතාව අසාගෙනසිටි මුදලාලි මහතා අපට බ්‍රැන්ඩි ගල පමණක් නොව මාතලේ අවට ඇති විල්ෂයර් හා ඇටිපොළ කඳු වෙත යන ආකාරයද පැහැදිලිකර දුනි.එයින් අප පුදුමයට පත්වුණේ සාමාන්‍යයෙන් කඳු නගින බව ඇසුවත් සියදිවි නසාගැනීමට යන පිස්සන් ලෙස අපව දකින  දකින පුද්ගලයන් හමුවීම සාමාන්‍ය සිදුවීම වුවත් කැමැත්තෙන් පාරවල් කියාදෙන පුද්ගලයන් දුර්ලභ බැවිනි .ඉන්පසු මුදලාලිගේ උපදෙස් මත අපි ඇටිපොළ බස්‍ රථයකට නැගගතිමු.
                          අළුවිහාරය පසුකර මදක් ගියපසු  ඇටිපොළ දක්වා ඇති අතුරු  පාරට  බසය පිවිසුනි.ඒ මාර්ගයේ කිලෝමීටර් කිහිපයක් ගමන්කළ පසු කොන්දොස්තරවරයා අපට මාදිවෙල පාරට හැරෙන තැනදී බැසීමට උපකාරී විය .ඉතා පටු එම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන්කළ පසු අපට මුල්වරට බ්‍රැන්ඩි ගල දැකගතහැකි විය. (ඇටිපොළ හා විල්ෂයර් කඳු වලින් වටවී ඇති නිසා ප්‍රධාන පාරට මෙය දැකගත නොහැක.)

බ්‍රැන්ඩි ගල
                                          තවත් කිලෝමීටර දෙකක් පමණ ගමන්කළ පසු අපට මරියතුමියගේ පිළිරුවක් සහිත හන්දියකට පැමිණිය හැකි විය.ඒ ආසන්නයේ නිවසකින් පාර ඇසූ විට එහි සිටි වතු කම්කරුවෙක් ඉතාම ඕනෑකමින් අපට උපකාර කිරීමට ඉදිරිපත් විය.ඔහු සමග කතාබහ කරන විට අපට වැටහුනේ කන්දට යෑමට වඩා අප සතුව බීමට ඇති දේ පිළිබඳ ඔහුගේ උනන්දුව වැඩි බවයි.ඒ මොහොතේ අප සතුව මත්පැන් බිඳක් හෝ තිබුණි නම් ඔහු අපව කඳු මුදුනට ඔසවාගෙන යනබ් බව නොඅනුමානය.කෙසේ වෙතත් ඔහුගේ බල කිරීමට අසල කඩයකින් කපුරු සහ සුවඳ කූරු මිලටගෙන කෝවිලේ  යාමට සිදුවිය.එයිනුත් නොනැවතුණ ඔහු අපට ඉතිරි කපුරු ආදිය කන්දේ තරමක් ඉහළ ඇති වන්දනාමාන කරන ස්ථානයකට පූජා කළයුතු බව කියාසිටියේය.එවිට දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහතින් කඳු තරණය කළහැකි බව පැවසුවේය.අපට දේව කරුණාව කෙසේවෙතත්  ප්‍රදේශවාසීන්ගේ කරුණාව අවශ්‍ය නිසා අපි එම උපදෙස් සාවදානව අසා සිටියෙමු.
                
                      ඉන්පසුව අප ගමනාරම්භ කළ පසු  ඔහු නැවතත් මගපෙන්වීමට පැමිණියත් මගපෙන්වන්නෙක් සමග ගමන්කරන විට ගමනේ ආශ්වාදය සෑහෙන ප්‍රමාණයකින්  අඩුවන නිසා ඔහුව මුදලක් අතමිට මොලවා පිටත්කර හැරීමට අපි කටයුතු කළෙමු.මග සලකුණු ඔස්සේ අතුරු පාරේ ගමන් කරද්දී හමුවූ කුඩා දරුවෙක් අපට ඔවුන්ගේ නිවස පිටුපස ඇති අතහැර දැමූ තේ වත්තක් හරහා ගමන්කළ කන්දට යාහැකි බව පෙන්වාදුනි ,ඒ අනුව අපි කඳු නැගීම එතැනින් ආරම්භ කළෙමු .මදක් ගමන්කළ පසු අපට කුඩා දිය ඇල්ලක් හමුවූ අතර එය අපට ගිමන් නිවීමට කදිම ස්ථානයක් විය.එතැන්සිට තරමක් දුෂ්කරව ගල දිගේ ඉහලට ගමන්කළ යුතු විය.ඉහලට පැමිණි විට අපට තරමක තැනිතලාවක් හමුවූ අතර එය හරහා තිබුණේ පහත දිය ඇල්ල නිර්මාණය කරන දිය දහරයි.
තැනිතලාවේ සිට කඳුමුදුන

                      තැනිතලාව පසුකරමින්  අපි ඉදිරියට ගමන්කළේ  කඳුමුදුනට ළඟාවීමටයි.ඒ සඳහා  සෑහෙන අවධානමක් සහිතව ගල් වල එල්ලෙමින් සහ ගල් අතරින්  රිංගාගෙන යායුතු විය.එවැනි වෙහෙසකර ගමනකින් පසු විශාල ගල්තලාවක් වන කඳු මුදුනට ළඟාවීමට හැකිවිය .තරමක වැසිබර කාලගුණයක් පැවතුන නිසා අවට කඳු වරින්වර  මීදුමෙන් වැසෙමින් පැවතුණෙන් පරිසරයේ අලංකාරය වෙනස්ම මානයකට එසවී තිබුණි .එහි සිට දිවා ආහාරය ගත් අප වැඩිවෙලා නොගෙන  නැවත පහතට බැසීමට තීරණය කළේ වැසි වැටුණොත්  ගමන ඉතාමත් අන්තරාදායක වීමට ඉඩකඩක් ඇති බැවිනි .පහලට පැමිණි අපට  පහසුවෙන් දිනය නිමාකර ගැනීමට  මාතලේ බලා යන බස්‍ රථය අල්ලාගත හැකිවිය . 

ගල් අතරින්ඉදිරියට

මෙතුලින්ද රිංගා පැමිණිය යුතුය

   

 
ප.ලි
      මෙම කන්ද තරණයට වැසි නොමැති  දිනයක් යොදාගැනනීමෙන් ලිස්සන සුළු ගල්වලින් හා අකුණුවලින් සිදුවිය හැකි හානි වලක්වාගත හැක.(කඳු මුදුන ආවරණයක් නොමැති විශාල ගල් තලාවකි)

Saturday, April 8, 2017

බැලුම්ගල මුදුනට (බලන කපොල්ල-1 ) Visit to Balumgala

                          අතීතයේ මහනුවර රාජධනිය එයට එල්ලවූ ආක්‍රමණ රාශියකට මුහුණ දී දිගු කාලයක් පැවතීමට ප්‍රධානම හේතුව වූයේ රාජධනිය වටා ස්වභාවික පවුරක් ලෙස පිහිටා ඇති කඳු සමූහයයි.එම කඳු පසුකර අතීතයේ මහනුරට පැමිණීමට පැවතියේ කපොළු කිහිපයකි.ඒවායින් ප්‍රධානම කපොළු වන්නේ ගලගෙදර, බලකඩුව,බලන හා ගිනිගත්හේනයි.ඒ අතරින් බලන කපොල්ල විශේෂ වන්නේ එය හරහා කොළඹ මහනුවර මාර්ගය පැවතීමයි.එවක සිටි විදේශ ආක්‍රමණිකයන්ගේ පරිපාලන මධ්‍යස්ථානය කොළඹ වූ බැවින් මහනුවරට පහරදීමට හමුදාවන්ට බලන කපොල්ල හරහා පමිණීම අනිවාර්ය විය.මේ භූමියේ වැදගත්කම අවබෝධකරගෙන සිටි උඩරට රජවරුන් ඔත්තුබැලීමට මෙන්ම යුද්ධ කිරීමටද හැකි පරිදි බලන හා බැලුම්ගල සේනා රඳවා තැබීමට කටයුතු යොදා තිබුණී.
බලන හා බැලුම්ගල කඳු අතර කපොල්ල පිහිටා ඇති අයුරු

                               ඉතිහාස කතාවකින් පටන්ගෙන  අද  ලියන්නේ බැලුම්ගල සංචාරය ගැන.බලන කපොල්ලක් ගැන කියන්ඩ පටන්ගෙන මේ බැලුම්ගලක් ගැන ලියන්නෙ මොකද කියල පැහැදිලි කරොත් ඒකට හේතුව තමයි බලන කපොල්ල පිහිටා තියන්නෙ බැලුම්ගල සහ බලන කඳු අතර වීම.තවත් හේතුවක් නම් බලන කපොල්ල බලන කඳු මුදුනටත් වඩා හොඳින් නැරඹිය හැක්කේ බැලුම්ගල සිට වීමයි.කොළඹ සිට මහනුවරට පැමිණෙන විට කඩුගන්නාව ගල විදපු තැනට ආසන්නයේ දී පාරේ වම්පසින් බලන කඳු මුදුන දිස්වෙන අතර දකුණුපසින් දිස්වන්නේ බැලුම්ගල කඳු  මුදුනයි.

                                       කඩුගන්නාව නගරය අසලින්ම  බැලුම්ගලකරා යෑමට වාහන ගමන් කිරීමට හැකි මාර්ගයක් ඇති අතර අපි සංචාරය ආරම්භ කළේ එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙනි.එම මාර්ගයේ කිලෝමීටර පමණ ගමන්කළ පසු හමුවූ පළමු සම්ප්‍රේශන කුලුණ අසල දී ගල් තලාවක් හමුවිය,එය බලන කපොල්ල සහ අවට ප්‍රදේශය නිරීක්ශනය සඳහා අනගි ස්ථානයක් විය.පාර ඇසූ සෑම ප්‍රදේශ වාසියෙක්ම බැලුම්ගල ලෙස හැදින්වූයේ එම ගල් තලාව වුවත් ගමනට පෙර අප සොයාගත් කරුණු අනුව එය සැබෑ බැලුම්ගල නොවන බවත් එය තවත් ඉදිරියේ ඇති බවත් දැනසිටියත් ගම්මුන්ගේ තොරතුරු නිසා අපි දෙගිඩියාවෙන් යුතුව එතැන සිට අවට නිරීක්ශනය කළෙමු.එහිදී අපට තරමක් ඈතින් තිබුණු බැලුම්ගල දැකගත හැකිවිය.                          
 
පළමු ගල් තලාවේ සිට බැලුම්ගල පෙනෙන අයුරු

                                                 නැවතත් බැලුම්ගලකරා ගමන ඇරඹීමට පෙර විවේකයක් ගැනීමට සිතුවත් වාඩිවීමට තබා සිටගෙන සිටීමටත් නොහැකිලෙස ගල්තලාව පුරාම වීදුරුකටු විසිරී තිබුනේ පෙර පැමිණ ඇති සංචාරකයන්ගේ ගති සොබාව මේයැයි විදහා දක්වමිනි.එතැන්සිට ඉදිරියට යන ආකාරය තීටණය කිරීමට අපහසු වූයේ අප එතෙක් පැමිණි මර්ගය U හැඩැති වංගුවකින් හැරී බැලුම්ගලට ප්‍රතිවිරුද්ධ දිශාවට පැවතීමයි.පෞද්ගලික පාරක්  අප යායුතු පැත්තටම තිබීම නිසා  ඒ ඔස්සේ ගමන්කර අසල නිවසකින් විස්තර ඇසීමට අපි තීරණය කළෙමු.මුළින්ම හමුවූ පුද්ගලයාත් සුපුරුදු පරිදිම පහල තිබූ ගල් තලාව ගැන කියවීමට පටන්ගනිද්දීම අපි දුරින් පෙණුනු  බැලුම්ගල පෙන්වා සිටියෙමු.එවිට මදක් හිස කසමින් සිටි ඔහු තේ වගාවක් හරහා යාමට මග සලකුනු පෙන්වා දුනි,ඔහුට ස්තූති කළ අපි අවසානයේ හෝ පාර දන්නා කෙනෙක්  හමුවීමේ ප්‍රීතියෙන් තේ පඳුරු පීරමින් ගමන් කලෙමු.අපේ ප්‍රීතිය වැඩිවෙලා  පැවතීමට ඉඩක් නැතිවිය.ඉදිරියෙන්  ගමන්කළ  මිතුරා පාර කී පුද්ගලයාගේ හත්මුතු  පරම්පරාවම සිහිපත් කරන්නට වූයෙන්  අපිත් ඉක්මනින් ඉදිරියට ගමන්කළ විට  දැකගන්නට තිබුණේ අප නැවතත්  තාර පාරට  පැමිණෙන ඇතිබවය.නැවතත්  තේ පඳුරු අතරින් ගමන් කිරීමට අදහසක් නොවූ බැවින් පාර දිගේ ඉදිරියට  ගමන්කළේ බැලුම්ගලට යාමේ බලාපොරොත්තු අතහැරීමට ආසන්නව ය.

                                        එම මාර්ගය අවසානවූයේ තවත්  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් අසලිනි ඒ අසල පාර දෙපැත්තම කම්බි වැටවල් ගසා තිබුණු  නිසා අපේ බලාපොරොත්තු තවත් කඩාවැටුණි.නැවතත් හැරීමට තීරණය කරද්දීම සම්ප්‍රේෂණය මධ්‍යස්ථානය  හා කම්බි ගසා  වෙන්කර තිබුණු ඉඩම අතරින් පෙනෙන්නට තිබුණු  කුඩා අඩිපාර අපේ  බලාපොරොත්තු නැංවීමට සමත්විය .ඒ අඩිපාර තවත් තේ වත්තක් හරහා වැටී තිබුණු  අතර එහි කෙළවර  කරාඹු වත්තක් විය.  වත්තට ඇතුළුවන විටම  හතර පස්දෙනෙක් කෑගසමින්  දුවගෙන ආවේ  අපට  කිසිවක් සිතාගැනීමටවත් ඉඩක් නොතබමිනි.අප අසලට පැමිණෙන විට  ඔවුන්ගේ මුහුණුවල තිබූ කෝපය තරමක් අඩු වූ බව පෙනෙන්නට තිබුණු නිසා අපි නැවතත් බැලුම්ගල කතාව  පැවසීමට නිර්භීත වූයෙමු.කරාඹු හොරු ඇල්ලීමට සිටි ඔවුන්ගේ පොලු පහර වලින් බේරීමට ලැබීම  වාසනාවක් බවත්  අනවසරයෙන් පුද්ගලික ඉඩමකට ඇතුල්වීම වැරදිබවත් ඉතාමත්  ආදරයෙන් 😀 කියාදුන් ඔවුන්  අවසානයේ  බැලුම්ගට  යන පාර  පෙන්වාදුන්නි.එම වත්තේ  කෙළවරට ගිය පසු  පඳුරු  වලින් වැසුණු  ගලක්  හමුවූ අතර එය තරණය කිරීමෙන් පසු අපට  බැලුම්ගල  මුදුනට පැමිණීමට හැකිවිය .

                      
බැලුම්ගල මුදුන (ඉදිරියෙන් ඇත්තේ බලන කඳුමුදුනයි )
                                       එතැන දර්ශනය මුළු ගමනේම විඩාව මොහොතකින් සමනය කිරීමට සමත්විය. බලන කපොල්ල හරහා  ඇති කොළඹ නුවර  ප්‍රධාන  මාර්ගය හා දුම්රිය මාර්ගය  කොතරම් මහන්සියෙන් ඉදිකර ඇත්දැයි පෙනෙන්නේ  මේ කඳු මුදුනට පමනක් විය යුතුය . විශේෂයෙන් ප්‍රධාන මාර්ගයට ඉහළින්  ඇති දුම්රිය මාර්ගය  දිස්වන්නේ  කන්දට අලවා ඇති ලෙසින්ය. එම  මාර්ගය තැනූ ඉංජිනේරුවා වන කැප්ටන්  ඩෝසන්  සිහිවීම සඳහා  තනා ඇති කුලුන  ශ්වේත වර්ණයෙන්  තුරු මුදුන්  අතරින් එසවී තිබෙන ආකාරයද  දැකගන්නට  හැකිය .ඉංජිනේරුවා සිහිවීමට කුලුනක්  තිබුණත් එදා ක්‍රියාත්මක වූ රාජකාරි ක්‍රමය අනුව  නොමිලයේ වැඩකල රටවැසියන්  සිහිවනු ඇත්තේ ඔවුන් අතින් කැඩීගිය ගල්කුළු වලට පමනක් විය හැක.කොළඹ  දිශාව බලන විට දී  පාරට ඉහලින් බලන  හා අලගල්ල කඳු ද,පාරට පහලින්  බතලේගල කන්දත් දැකිය හැකි අතර  මහනුවර  දිශාවෙන් කඩුගන්නාව  හා පිළිමතලාව  නගර ද  නැරඹීමට හැකිය .

දුම්රිය මාර්ගය හා A1 මාර්ගය බලන කපොල්ලට ඇතුළුවීම
උඩරට මැණිකේ කඳු අතරින් ඉදිරියට
කඩුගන්නාව නගරය පෙනෙන අයුරු.zoom කර බැලීමේදී ඈතින් ඇති ඩෝසන් කුලුනත් දැකිය හැක.