Friday, September 22, 2017

යක්දෙස්සාගල Yakdessagala

                             කුරුණෑගල සිට වාරියපොල මාර්ගයේ ගමන්කරන කෙනෙකුට තරමක් අවධානයෙන් අවට නැරඹුවොත් පාරේ වම්පසින් ඇති යක්දෙස්සාගල කඳුවැටිය  දැකගන්නට පුළුවන් .මෙම කන්ද හා බැඳුණු ජනප්‍රවාදය පිළිබඳව මීට පෙර ලියූ කොහොඹා කංකාරියේ උපත සමග ලංකාවේ සංචාරේ සටහනේ සඳහන් වෙනවා. ශමින්ද රන්ශාන් විසින් ලක් දසුන් අඩවියේ සඳහන්කර ඇති ලැයිතුවකට අනුව යක්දෙස්සාගල කන්දට ලංකාවේ කඳු අතර හිමිවන්නේ සියවන ස්ථානයයි.

 යක්දෙස්සාගල

                          වසර හතරකට පෙර සිදු කළ මේ සංචාරය ආරම්භක සැලසුම වූයේ අපි පස් දෙනෙක් පේරාදෙණියට එකතුවී අලගල්ල කන්ද නැගීම වුවත් උදෑසන බස්නැවතුමේ සිටිද්දී දැනගන්නට ලැබුණේ  තුන්දෙනෙක්ම පොලු තබා ඇති බවයි .පැමිණි එකම මිතුරාගේ අදහස වූයේ කෙසේ හෝ  අලගල්ල තරණය කිරීමටයි.නමුත් කන්දේ මුදුනට යාමට තිබෙන සිංහ කට තරණය තරමක් අවදානම් නිසා කිහිපදෙනක් සමග එකතුවී මිසක් අප දෙදෙනා පමණක් යාම නුවණට හුරු නොවන බැවින්  මගේ තීරණය වූයේ ඊට වඩා පහසු යක්දෙස්සාගල තරණය කිරීමටයි.ඒ කාලය වෙද්දී මම තරණයට බලාපොරොත්තු වූ කඳුවලට යාමට  ඇවැසි තොරතුරු ලියා තැබූ කුඩා පොතක් තිබුණි .ඒ නිසා ගමන අමුතුවෙන්  සැලසුම් කිරීමට අවශ්‍ය  නොවූයෙන් අපි දෙදෙනා කුරුණෑගල බලා ගමන් කළෙමු .ප්‍රශ්නය තිබුණේ කුරුණෑගල සිට කන්ද පාමුලට යන ආකාරය පිළිබඳවයි.ලක්දසුන්  අඩවියට අනුව කන්ද නැගීමට අඩිපාර ඇරඹෙන්නේ සංවැලි විහාරය අසල ඇති පොකුණක් අසලිනි .නමුත් පෞද්ගලික වාහන වලින් ගමන්කර තිබුණු ඔවුන් ඒ අසලට යන බසයක් ගැන නොදැනසිටි අතර මා විමසූ විට පැවසූවේ වාරියපොල බස්‍ රථවලින් තරමක් ළඟට යාහැකි බවයි .ගූගල් මැප් එකේ සංවැලි විහාරය දක්වා නොතිබීම තවත් ගැටළුවක් විය.(මේ සංචාරය සිදුකළ කාලයේ street view පහසුකම නොතිබිණි ) මේ නිසා මම අදහස් කළේ වාරියපොල බසයක ගමන්කර මාස්පොතින් බැස එතැන්සිට පයින් යාමටයි .මාස්පොතට පැමිණෙන විට උදෑසන එකොළහ පසුවී තිබුණු අතර පරිසරයේ උණුසුම බලාපොරොත්තු වූවාට වඩා අධික විය .තද අව්වේ කුඹුරු යායක් මැදින් වැටී තිබුණු වැලි පාරක ගමන්කළ අපට දැනුණේ  පෝරණුවක් තුල ඇවිදිනවා මෙන් හැඟීමකි.


            එලෙස සෑහෙන දුරක් ගමන්කළ පසුව අපට ඉදිරියෙන් දකින්නට ලැබුණේ බස් රථය ගමන් ගන්නා මාර්ගයකි.එය දුටු විගස මගේ මිතුරා මා එතෙක් අසා තිබුණු සියළුම පරුෂ වචනවලට අමතරව ඔහුගේ නව නිර්මාණ වලිනුත් නොපැකිලව මට සංග්‍රහ කරන්නට යෙදුණි.ප්‍රධාන මාර්ගය ඔස්සේත් තරමක් දුර පැමිණි පසු අපට සංවැලි විහාරය ඉදිරියට පැමිණීමට හැකි වුවත් ඒ අසල පොකුණක් පැවතිය හැකි ලකුණක්වත් දැක ගැනීමට නොතිබිණි .කෙසේවෙතත් කන්ද පැත්තට තිබුණු අඩිපාරක් වියලීගිය මානා පඳුරු අතර දකින්නට තිබුණු නිසා අපි ඒ  ඔස්සේ ගමන් කරත්ම පිහිටි ගලේ සෑදී තිබුණු පොකුණ ඇස ගැටුණි.වියළි කාලය නිසා එහි වතුර අඩියටම සිඳී තිබුණි .ඒ අසල සරුවට අක්කපාන වැඩී තිබුණු අතර මම පළමුවරට අක්කපාන මල් දුටුවේ එහිදී යි.
අක්කපාන 

            එතැන සිට කැළය තුළට යාමට පැහැදිලි  අඩිපාරක් විය.මෙම අඩිපාර කැළය  තුළට පිවිසෙන කොටසේ හා කඳු මුදුනට ආසන්න කොටසේ පැහැදිලිව තිබුනත් ඒ අතරමැද සොයා ගැනීම තරමක් අපහසු බැවින් ඒපිළිබඳව කල්පනාවෙන් ගමන්කළයුතුය. කෙසේවෙතත් කැලයට පිවිසි පසු උස්ව වැඩී තිබුණු ගස් වලට අපව හිරුගෙන් වසන් කිරීමට හැකියාව තිබුණු නිසා අපේ ගමන පහසු විය.



                          කඳු මුදුනට ආසන්නවත්ම එතෙක් වෙලා පානය කළ වතුර බෝතලය අවසන්වූ අතර අනෙක් වතුර බෝතලය සොයාගැනීමට නොමැති විය.එයත් සමග මිලට ගත් කෑම පාර්සලයත් නොතිබූ නිසා අපට පැහැදිලි වූයේ ඒ සියල්ලම කඩයේ දමා පැමිණ ඇති බවයි .ඉහින් කනින් දාඩිය වගුරමින් සිටි අපට  වතුර නොමැති වීම දරාගත නොහැකි වූවත් කඳු මුදුන පෙනි පෙනී ආපසු හැරීමට  සිත් නොවිණි .ඒ මොහොතේ ගතහැකි අඥානම තීරණය ගෙන අප දෙදෙනා නැවත ගමනාරම්භ කළේ ඉහලටම යාමටයි .කළුගලින් සෑදී තිබුණු කඳු මුදුන අවට නැරඹීමට පැවතිය හැකි අනර්ඝම ස්ථානකි.එතැන්සිට කිසිදු බාධාවකින් තොරව අංශක 360ක පරාසයක් නැරඹීමට හැකිය.

කඳු මුදුනේ සිට-ඉදිරියෙන් පෙනෙන්නේ නාථගනේ කන්දයි

යක්දෙස්සාගල කඳුවැටිය

මගේ ගමන් සගයා කඳු මුදුනේ සවිකර ඇති කොඩි කණුව අසල


                   
                  ගිනියම් අව්වේ වුවත් මෙවැනි කඳු මුදුනක සිටිද්දී සුළඟ නිසා ඇඟට ව්‍යාජ සුවයක් දැනුනත් ඇඟ ඉක්මනින් විජලනයට  ලක්වෙන බව අපට ඒවෙද්දී වැටහුණේ නැත.අප ඉක්මනින්ම කන්ද බැසීම ආරම්භ කළේ පිපාසය එන්න එන්නම වැඩිවූ නිසාවෙනි.පන්සල අසලට ලඟාවන විට මගේ මුහුණේ දහඩිය වියලී ලුණු කුඩු මෙන් බැඳී තිබුණු අතර දෙතොල්ද වියලී තිබුණි .පන්සලට පැමිණි පසු එහි වැඩ සිටි කුඩා හාමුදුරුනමක් අපට බීමට වතුර ලබාදී මුහුණ සෝදාගැනීමට කරාමයක් අසලට කැඳවාගෙන යාමට කරුණාවන්ත විය.ඉන්පසුව ඇඟට තරමක පහසුවක් දැනුනු අතර හිතේ සතුට තවත් වැඩිකරමින් එවිටම පැමිණි  කුරුණෑගල බස් රථයට නැග ගැනීමට හැකිවිය.හොඳින් ඉඩ තිබුණු බස්‍ රථයට නැගි විගස අයිනක් අල්ලාගෙන නිදාගත්තේ හිසේ කැක්කුමක් ද හටගෙන තිබුණු බැවිනි.කුරුණෑගලින් බසයෙන් බැසගත් විගසම කකුල් වල කෙන්ඩා පෙරළුණු අතර අසල වැටක් අල්ලාගෙන මද වෙලාවක් සිට ගමන්කළේ අසල හෝටලයකින් නැවතත් යමක් පානයට ගැනීමටයි .හෝටලයට ආසන්නවත්ම අවට ශබ්දය ඇසීම සීඝ්‍රයෙන් අඩුවූ අතර පරිසරයත් අඳුවන බවක් දැනුනත් විදුලි පංකාවක් යටට වී සීතල චොකලට් කිරි එකක් බීමෙන් පසු තත්ත්වය තරමක් යහපත් අතට හැරුණි.ඉන් පසුව වායුසමනයකළ බසයකට නැගී මහනුවරට පැමිණෙනතෙක් වතුර මදින් මද පානය කළ පසුව දැනුන අපහසුතා නිමාවිය.

ප.ලි   
           මම ගවේෂණ චාරිකා ආරම්භ කළ සමයේ සිදුකළ මේ මෝඩ ක්‍රියාව ලියා තැබුවේ මෙවැනි ගමනකදී ජලයේ ඇති වැදගත්කම පෙන්වාදීමටයි.මේවෙද්දී මෙවැනි නොදන්නා ප්‍රදේශයක ගමනක් යනවිට එක් අයෙක්ට වතුර ලීටර් එකහමාරක් බැගින් අනිවාර්යයෙන් ගෙනයනු ලබනවා.දහඩියත් සමග සිරුරේ ලවණත් පිටවෙන නිසා මෙවැනි ගමනක් අතරතුර ජීවනී පානයත් ඇඟට ගුණයි ඒ නිසා ජීවනී පැකට් කිහිපයක් ,ලුණු කුඩුත් බෑගයේ නොවැරදීම තබාගන්නේ මෙවැනි අවස්ථාවල ප්‍රයෝජනයටයි.තවත් වැදගත් දෙයක්නම් මෙවැනි අවස්ථාවල තිබහ නැතිකිරීමට මත්පැන් ගැනීම විජලන තත්ත්වය තවත් උඝ්‍ර  වීමට හේතුවක් බවයි.(වතුරත් නැතිකොට ඕව කොහෙන්ද කියල හිතෙනව නම් එහෙම දේවල් වෙලාතියනවා කියල විතරක් කියන්නම්)

සංවැලි රජමහා විහාරය තවමත් google maps වල ඇතුල්කර නොමැති අතර මේ කන්ද නැගීමට යනවානම් යායුත්තේ කුරුණෑගලින් ගෝනගම බසයකයි