Monday, June 5, 2017

කිරිගල්පොත්ත තරණය - Kirigalpotta Hike

                             ලංකාවේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ප්‍රචලිත ස්ථානයක් තමයි "මහ එළිය තැන්න".මෙය හෝර්ටන් තැන්න කියල බොහෝදෙනෙක් හැඳින්වුවත් අනාදිමත් කාලයක සිට පැවතුණු මහ එළිය තැන්න නම මේ ප්‍රදේශට ගැලපෙන බව තමයි මගේ අදහස.කෙසේවෙතත් මෙහි පැමිණෙන සංචාරකයන් බොහෝදෙනා නොදන්නා කාරණයක් තමයි ලංකාවේ දෙවනියට උසම කිරිගල්පොත්ත කන්දත්(උස 2,388 m) තුන්වෙනියට උසම තොටුපොළ කන්දත්(2,357 m) මේ ආශ්‍රිතව පිහිටා තියෙන බව.

                                  මීට පෙර මා කිහිප වරක්ම මහ එළිය තැන්නේ සංචාරයකර ඇති නමුත් ඒ හැම අවස්ථාවක්ම සුපුරුදු ලෝකාන්තය නැරඹීමේ ගමනට සීමාවිය .එක් වරක් කිරිගල්පොත්ත නැගීමේ අරමුණින්ම රාත්‍රී තැපැල් දුම්රියෙන් පැමිණියත් අපගේ සුපුරුදු වාසනා මහිමයෙන් දුම්රිය පීලි පැනීම නිසා සියළුම සැලසුම් වෙනස්වී එක දවසේ ගමන දවස් දෙකක් වී ඉන්පසු ආපසු පැමිණි දුම්රියත් අතරමගදී කාර්මික දෝෂයකට ලක්වී වෙන්ඩ තියෙන හැම ආපදාවකටම ලක්වීමෙන් කෙළවර විය.එවරද ගමන් මහන්සිය නිසා කිරිගල්පොත්ත වෙනුවට ලෝකාන්තය බලා සැනසීමට සිදුවිය .පසු දවසක බණ්ඩාරවෙල අම්මාගේ මහගෙදර නෑදෑ සහෝදරයන් සමග කතාබහේ දී මගේ  අවාසනාවන්ත කිරිගල්පොත්ත චාරිකාව ගැන ඇසූ ඔවුන් එක පයින් කිරිගල්පොත්ත තරණයට කැමැත්ත පලකිරීම මට සිතාගැනීමටවත් නොහැකි විය.ඉන් අනතුරුව එළඹුණේ ගමන සැලසුම් කිරීමේ පියවරයි.
                           මහ එළිය තැන්නට පැමිණිය හැකි ප්‍රධාන මාර්ග දෙකෙන් එකක් පට්ටිපොලෙන් ආරම්භවන අතර අනෙක් මාර්ගයේ ආරම්භ සනිටුහන් වන්නේ ඔහියෙනි.කළුපහන සිට ඇරඹෙන යක්ෂයාගේ පඩිපෙළ (පඩිපෙළ කිව්වට පාර) අතරමගින් ඔහිය මාර්ගයට එක්වේ.මෙම මාර්ග දෙකෙහිම දුම්රිය ස්ථානවල සිට මහ එළිය තැන්නට  ගමන්කළ යුතු දුරවල් ආසන්නව සමානයි.(මීට අමතරව මහ එළිය තැන්නට පැමිණිය හැකි අඩිපාරවල් පැවතුනත් ඒවා නීතිවිරෝධී පිවිසුම් ලෙස සැලකේ.)මෙයින් අප තෝරාගත්තේ බණ්ඩාරවෙලට ආසන්න ඔහිය මාර්ගයයි.උදෑසන දුම්රියෙන් ඔහිය දුම්රිය ස්ථානයට ගොස් මහ එළිය තැන්නට ගමන්කර කිරිගල්පොත්ත තරණයෙන් පසුව හැකිනම් තොටුපොළ කන්දත් තරණයකර පට්ටිපොල දුම්රිය ස්ථානයට ළඟාවීම අපගේ සැලසුම විය (පට්ටිපොළ  මාර්ගය අතරමගදී තොටුපොළ කන්දට යන අඩිපාරේ පිවිසුම හමුවේ).

                   පසුවදා උදෑසන අප ගමනට අවශ්‍ය ආහාරය ගෙනයාමට සකස් කිරීම තරමක අපහසුවක් වූයේ පොලිතින් එතුම් හෝ පොලිතින් බෑග් වනෝද්‍යානයට ගෙනයාම තහනම් බැවිනි .අපි අනිවාර්යයෙන් සංචාරයකදී  කිසිදු අපද්‍රව්‍යයක් අතරමග නොදා ගෙන ආවත් බහුතරයකට තවමත් එවැනි පුරුදු නැති නිසා දැඩි නීති පනවා තිබීම පරිසර ආරක්ෂාව සඳහා ඉතා වැදගත්ය.කෙසේ හෝ සියලුදෙනා සූදානම් වී අවසානවූ පසු එළඹුණේ ප්‍රමාදය සඳහා එකිනෙකාට බැනවදිමින් දුම්රිය ස්ථානයට දිවීමේ වේලාවයි.අවසානයේ හති දමමින් පැමිණි අපට දුම්රියට නැගගැනීමට හැකිවූයේ විනාඩි දහයක දුම්රිය පමාවක් සිදුවීම නිසායි.කෙසේවෙතත් එම දිවීමෙන් අපගේ හැකියාවන් හොදින් පැහැදිලි වීම නිසා ආසන්න වශයෙන් කිලෝමීටර 34ක් ඇවිදීමේ තීරණය යලි සලකා බැලීමට එය හොඳ අවස්ථාවක් විය.ඔහියට පැමිණි අප සිව්දෙනා ත්‍රීරෝද රථක නැගී ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කාර්යාලය දක්වා පමණක්  ගමන්කිරීමට තීරණය කළේ එතැන්සිට ලෝකාන්තය පිවිසුම දක්වා සීඝ්‍ර නැග්මක් නොමැති නිසා අපට පහසුවෙන් පාගමනින් යාහැකි  නිසාවෙනි.

අතර  මගදී

අතර  මගදී
                                  අපේ තීරණයේ වටිනාකම වැටහුණේ උදෑසන සිසිල් සුළඟේ පහස විඳිමින් තැනිතලාව හරහා ඇරඹූ විටදීය .මීට පෙර දුම්රිය ස්ථානයේ සිටම පාගමනින් පැමින ඇති නමුත් අධික වෙහෙස සහ කල්ගත වීම නිසා පරිසරයේ සුන්දරත්වය විඳීමට නොහැකි විය.බොහොමයක් සංචාරකයන් පැමිණෙන්නේ පට්ටිපොළ සිට බැවින් අපට අතර මගදී හමුවූයේ වාහන කිහිපයක් පමණක් වුවත් Farr Inn එක පෙනෙන මානයට එද්දී වාහන සියගණනක් නවතා තිබෙන අයුරු දැකගන්නට ලැබුණි .Farr Inn එක පිටුපසින් ලෝකාන්තය දෙසට යන මාවතේ ආරම්භයේ ගමන් මළු පරීක්ෂා කරන කාර්යාලට ගොස් අපි කිරිගල්පොත්ත බලා ගමන්කරන බව දැන්වීමෙන් අනතුරුව නැවතත් හැරී Farr Inn එක අසලින් දකුණට ඇති අඩිපාර ඔස්සේ  ගමන ඇරඹූවෙමු .(කිරිගල්පොත්ත සංචාරය සඳහා අවසර ලබාදෙන්නේ උදෑසන 10ට පෙර පැමිණෙන සංචාරකයන්ට පමණක් බව විශේෂයෙන් දැනගතයුතුය.) කිලෝමීටර් 7ක ගමනේ ආරම්භය හොඳින් නඩත්තු කළ අඩිපාරක් විය නමුත් ඉදිරියට යත්ම මාවත පැවතියේ  යන්තමින් හඳුනාගත හැකිමට්ටමෙනි.

ගමන් මග



                                    දහස් ගණනක් ඇවිදීමෙන් අගල් බවට පත්වූ ලෝකාන්තය මගට සාපේක්ෂව කිරිගල්පොත්ත මග තාමත් නොඉඳුල්ය.මාවත ඇතැම් තැන්වලදී වතුර පහරවල් හා මඩ ගොහොරු හරහා  වැටී තිබීම ගමන දුෂ්කර කරනවාටත් වඩා ගමන සුන්දර කිරීමට  හේතුවිය (මහ එළිය තැන්නේ කූඩැල්ලන් නොමැති වීම සිතට නිදහසකි) .අපට යන මගදී හමුවූයේ කණ්ඩායම් දෙකක් පමණක් වීම  පුදුමසහගත වූයේ ලෝකාන්තය බලා දහසකට ආසන්නව සංචාරකයන් ගමන්කරනු දුටු බැවිනි.

කිරිගල්පොත්ත ඇත්තේ මෙම කන්දට එපිටිනි
                                  තැනිතලාවේ ඈතින් පෙනෙන්නට තිබුණු කන්ද අපගේ ගමනාන්තය ලෙස සිතා ගමන්කළත් මගදී හමුවුණු පිරිසක් අපට පැවසූවේ එම කන්ද තරණයෙන් පසුව කිරිගල්පොත්ත කන්ද හමුවන බවයි.ඔවුන්ට ස්තූති කළ අපි මහ බෝවිටියා මලින් සැරසුණු වනපෙත් පසුකරමින් ඉදිරියට ඇදුනෙමු .පැය තුනක පමණ ගමනකින් පසුව අපට ලංකාවේ දෙවනියට උසම කඳු මුදුනට පැමිණිය හැකිවිය.කඳු මුදුන අසලට පැමිණෙන අඩිපාර ප්‍රපාතයකට ආසන්නව ඇති නිසා ප්‍රවේශම් වියයුතුය.(අධික මීදුම ඇතිවිට වඩාත් කල්පනාකාරී වියයුතුය .)විටින් විට අවට  මීදුමෙන් වැසෙමින් පැවතීම අපට දැනුනේ අප වලාකුළු මතින් ඇවිද යන්නාක් මෙනි.
                           

කිරිගල්පොත්ත  කඳු මුදුන
 කඳු මුදුනට 

                       
 කඳු මුදුනට පෙනෙන දර්ශනය
                             

                                             දිවා ආහාරයත් ගෙන මදක් විවේකීව ගතකළ අප නැවතත් ගමන් ආරම්භ කළේ පාගමනින්ම ගමන්කරන අපට කාල කලමනාකරණය ඉතා වැදගත් නිසාවෙනි .හනි හනිකට ගමන්කළ අපිට තරමක් දුර යද්දී අඩිපාර තරමක් නුපුරුදු බවක් දැනුනත් මඩේ සටහන්ව තිබුණු සපත්තු අඩි නිසා ඒ මගේම ඉදිරියටම ගමන්කළෙමු.මදක් දුර යද්දී උස් හඬින් කතා කරන ශබ්දයක් ඇසුනු අතර විපරම් කර බැලීමේදී දහයක පමණ කණ්ඩායමක් බහින්බස් වන අයුරු පෙනෙන්නට තිබුණි.තරමක් ළංවත්ම වැටහුණේ වැරදි පාරක පැමිණීම පිලිබඳ ඔවුන් වාදකරන බවයි.තැනිතලාවේ බහුලව ඇති ගෝනුන් ගමන් කරන අඩිපාරක ඔවුන් පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමන නිසා අපත් වැරදි පාරේ පැමිණ තිබුණි.මම ජංගම දුරකථනයේ අප ගමන්කරන මාර්ගය සටහන්වීමට සකසා තිබූ නිසා එමගින් නිවැරදි මාවත සොයාගැනීමට උත්සහ කළත් ඒවන විට gps සංඥා නොමැති බව තිරයේ දිස්විය.නමුත් එයින් අප නිවැරදි මාවතෙන් වැඩි දුරක් ඉවතටගොස් නොමැති බව දැනගැනීමට හැකිවිය .මඩේ එරෙමින් පඳුරු අතරින් අප කිහිපදෙනක් ගමන්කර මදවේලාවකින් නිවැරදි මග සොයාගත් අතර ඉතුරු පිරිස කැඳවාගෙන ගමන නැවත ආරම්භ කරත්ම තවත් කණ්ඩායමක් අප පැමිණි ගෝන මාවතේ එන ආකාරය දැකීම පාර වැරදීමෙන් සිත් කැලඹීමෙන් සිටි සැමට බඩ අල්ලාගෙන සිනාවීමට ප්‍රමාණවත් විය.තවත් පැයක් පමණ ගමන්කළ අපට ඈතින් කාර්යාල ගොඩනැගිලි දැකීමට ලැබීම කිරිගල්පොත්ත මුදුනට නැගීම හා සමාන ප්‍රීතියක් විය.නැවතත් පැමිණි බව කාර්යාලට දැනුම්දීමෙන් පසු අපි ඔහිය බලා ගමන් ඇරඹූවෙමු.වැඩි දුරක්‍ යෑමට පෙර අප අසල නැවතූ වෑන්රියකින් පහලට යන්න නැගපන් කියා නිමකරන්නටත් පෙර අප එයට නැගුණේ දෙපාවලට විවේකයක් ලබාදීමේ දැඩි අවශ්‍යතාව නිසාවෙනි.ගාල්ලෙන් පැමිණි කුඩා පවුලක් වෑන්රියේ සිටි අතර ඔවුන්ගේ උපකාරය නිසා අපේ පාගමන කිලෝමීටර් දහයකින් අඩුකරගැනීමට හැකිවිය.ඔහියට පැමිණි අපි දුම්රිය පැමිණෙනතුරු උණු ඉඟුරු තේ බොමින් කිලෝමීටර් විස්සක පාගමන හා ලංකාවේ දෙවනියට උසම කන්ද තරණයේ මතක තවත් වර්ණවත් කළෙමු.
                               
බෝවිටියා මලක්
මලින් පිරීගිය විසල් වනේ





                              (කිරිගල්පොත්ත අඩිපාර වරින්වර නඩත්තු කරන නිසා අප මෙන් අතරමන්වීමේ හැකියාව අවමයි.නමුත් ඒ අඩිපාර මෙන්ම ගෝනුන් ගමන් කරන අඩිපාරවල් බහුලව ඇති නිසා ඒ පිලිබඳ අවධානය යොමුකළ යුතුය.)