![]() |
යක්දෙස්සාගල කන්ද |
ලක්දිව කිරුළත් සමගම පඬුවස්දෙව් රජුට කුවේණිගේ ශාපයත් උරුම විය.උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණු විජයට කුවේණිගේ ශාපය එතරම් දරුණුවට බලනොපෑවත් පඬුවස්දෙව් රජුට රාත්‍රියේ නිදාගැනීමටවත් නොහැකි ලෙස ශාපය බලපාන ලදී.සිහිනෙන් බිහිසුණු දිවියෙකුගේ රුවක් පෙනෙන්නට වීමෙන් රජු රෝගාතුර විය .රෝගාතුර වූ රජු සුවපත් කරන ලෙසට රජතුමාගේ ඉෂ්ඨ දේවතාවා ශක්‍ර දෙවියන් ගෙන් ඉල්ලා සිටින ලදී.මේ ඉල්ලීමට ඇහුම්කන්දුන් ශක්‍ර දෙවියන් පවසා සිටියේ දිවි දෝෂය නිමකරන්නට මලෙන් උපන් කුමාරයෙක් විසින් යාගයක් සිදු කළයුතු බවයි.ඒ සඳහා මලය රටේ රජු වූ මලින් උපන් මලය රජු කැඳවා ගතයුතු විය.ශක්‍ර දෙවියන් මලය රජතුමා ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒම රාහු අසුරයාට පවරන ලදී.
යාගයක් පැවැත්වීමට රජෙක් සියළු වැඩ පසෙකලා පැමිණෙතැයි බලාපොරොත්තු විය නොහැකි නිසා ඒ සඳහා උපායක් යෙදීමට රාහු අසුරයා තීරණය කළේය .රාහු අසුරයා ඌරු වෙසක් මවාගෙන මලය රජුගේ රාජකීය උද්‍යානය විනාශ කරන ලදී ,කෝපයට පත් රජු මේ පිලිබඳ සොයාබැලීමට පැමිණෙත්ම ඌරු වෙසින් සිටි අසුරයා රජුගේ හිසට උඩින් පැන ලංකාවට දිවයන්නට විය. තමාට සිදුකළ අපහාසය නිසා කෙසේහෝ ඌරා දඩයම් කිරීමේ අරමුණින් මලය රජු තම සොහොයුරන් දෙදෙනා සමග ඌරා ලුහුබඳිමින් ලංකාවටම පැමිණියේය .හන්තාන අඩවියේදී මලය රජු කඩු පහරක් එල්ල කරත්ම ඌරා ගලක් බවට පත්විය .(මෙම ගල හන්තාන කඳු වැටියේ ඇති ඌරා කෙටූ ගල බව විශ්වාස කෙරේ.)
![]() |
හන්තාන කඳුවැටිය දකුණු අන්තයේ සිට. |
![]() |
හන්තාන කඳුවැටිය දිවිදොස් කන්දේ සිට.(මහවැලි ගඟ අසල ඇත්තේ ප්‍රිම් රෝස් කන්දයි ) |
එවිට රජු ඉදිරියට පැමිණි ශක්‍ර දෙවියන් මලය රජු ලංකාවට කැඳවාගෙන ඒමට හේතුව පවසන ලදී.පඬුවස්දෙව් රජු සුවපත් කිරීමට අවශ්‍ය යාගය පැවැත්වීමට මුලින්ම යෝජනා වූයේ දිවිදොස් කන්ද පාමුලදීය නමුත් එහි ඉඩකඩ මදි බැවිනි යාගය පැවැත්වූයේ අනුරාධපුර මහමෙව්නා උයනේදීය.
![]() |
මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමය |
![]() |
කොහොඹා කංකාරියේ අවස්ථාවක්.(ඡායා රූපය අන්තර්ජාලයෙනි ) |
(කුවේණියගේ ශාපය ,කොහොඹා කංකාරියේ ආරම්භය පිලිබඳ මෙයට වෙනස් ජනප්‍රවාද රැසක් ඇති අතර ඔබ දන්නා විස්තර මෙයට කමෙන්ට් ලෙසින් එක්කරන්න)
මෙම ලිපිය ලිවීමට මූලික වූයේ දිවිදොස් කන්දට එම නම ලැබුණු කතාව සොයාගැනීමට කළ උත්සහයයි.මීට කලකට පෙර අසා තිබුණු එම කතාව සොයාගැනීමට නොහැකි වුවත් ඊට පාදක වූ දිවිදෝෂයේ කතාව ලියා තැබුවේ ඉදිරියට මේ කතාවට සම්බන්ධ යක්දෙස්සාගල කන්ද ,හන්තාන කඳුවැටිය ,දිවිදොස් කන්ද සහ මහමෙව්නා උයනට මා කළ සංචාර පිලිබඳ සටහන්වලට ආරම්භයක් ලෙසයි.