Tuesday, October 3, 2017

කොහොඹා කංකාරියේ උපත සමග ලංකාවේ සංචාරේ

                                   කුවේණිගේ උපකාරයෙන් යක්ෂයින් මරා ලංකාවේ බලය ලබාගත් විජය කුමරුට චාරිත්‍රානුකූල රාජාභිෂේක මංගල්‍යයක් පැවැත්වීමට අවශ්‍ය විය .මේ සඳහා මදුරාපුරයේ පඬි රජුගේ දියනිය කැඳවා ගත්තේ සම කුල කුමාරිකාවක් හා විවාහය අභිෂේකයට  අවශ්‍යවීම නිසාය .ඒවන විටත්  කුවේණිය සමග විවාහයෙන් ජීවහත්ත හා විසාලා නම් දරුවන් දෙදෙනෙකුත් සිටියත් ඔවුන් මාලිගාවෙන් පලවාහරින්නේ මොනවා කළත් මිනිසුන් යක්ෂයන්ට බය වග පවසමිනි .තම නෑදෑයන්ට විනකර එක්වූ සැමියාත්  තමන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් අසරණවූ කුවේණිය විජය රජුට හා හෙළ දිවයිනට ශාප කළාය .මෙම ශාපය සිදුකළ ස්ථානය වර්ථමාන යක්දෙස්සාගල කන්ද ලෙස සැලකේ.

 යක්දෙස්සාගල කන්ද
                                  මෙම ශාපය නිසා රාජ්‍යත්වයට  තම ලෙයින් දරුවෙක් බිහිකිරීමට නොහැකි වූ විජය රජු තමාගේ ඇවෑමෙන් රාජ්‍ය බාරගැනීමට තම සොයුරු සුමිත්තට ආරාධනා කළත් ඒවන විට ඔහුට සිංහපුර රාජ්‍යත්වය හිමිව තිබුණු නිසා ඔහුගේ බාල පුතා වූ පඬුවස්දෙව් කුමරු ලංකාවට පිටත්කර එවන ලදී.පඬුවස්දෙව් කුමරු ලංකාවට පැමිණියේ විජය රජුගේ අභාවයෙන් වසරක් ගතවූ පසුවයි.ඒවන විට උපතිස්ස ගාමයේ  සිටි අමාත්‍යවරුන් ගෙන් පාලනය බාරගෙන පඬුවස්දෙව් කුමරු රාජ්‍යත්වයට පත්විය .

                        ලක්දිව කිරුළත් සමගම පඬුවස්දෙව් රජුට කුවේණිගේ ශාපයත් උරුම විය.උපුල්වන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබුණු විජයට කුවේණිගේ ශාපය එතරම් දරුණුවට බලනොපෑවත් පඬුවස්දෙව් රජුට රාත්‍රියේ නිදාගැනීමටවත් නොහැකි ලෙස ශාපය බලපාන ලදී.සිහිනෙන්  බිහිසුණු දිවියෙකුගේ රුවක් පෙනෙන්නට වීමෙන් රජු රෝගාතුර විය .රෝගාතුර වූ රජු සුවපත් කරන ලෙසට රජතුමාගේ ඉෂ්ඨ දේවතාවා ශක්‍ර දෙවියන් ගෙන් ඉල්ලා සිටින ලදී.මේ ඉල්ලීමට ඇහුම්කන්දුන් ශක්‍ර දෙවියන් පවසා සිටියේ දිවි දෝෂය නිමකරන්නට මලෙන් උපන් කුමාරයෙක් විසින් යාගයක් සිදු කළයුතු බවයි.ඒ සඳහා මලය රටේ රජු වූ මලින් උපන් මලය රජු කැඳවා ගතයුතු විය.ශක්‍ර දෙවියන් මලය රජතුමා ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒම රාහු අසුරයාට පවරන ලදී.
                               යාගයක් පැවැත්වීමට රජෙක් සියළු වැඩ පසෙකලා පැමිණෙතැයි බලාපොරොත්තු විය නොහැකි නිසා ඒ සඳහා උපායක් යෙදීමට රාහු අසුරයා තීරණය කළේය .රාහු අසුරයා ඌරු වෙසක් මවාගෙන මලය රජුගේ රාජකීය උද්‍යානය විනාශ කරන ලදී ,කෝපයට පත් රජු මේ පිලිබඳ සොයාබැලීමට පැමිණෙත්ම ඌරු වෙසින් සිටි අසුරයා රජුගේ  හිසට උඩින් පැන ලංකාවට දිවයන්නට විය. තමාට සිදුකළ අපහාසය නිසා කෙසේහෝ ඌරා දඩයම් කිරීමේ අරමුණින් මලය රජු තම සොහොයුරන් දෙදෙනා සමග  ඌරා ලුහුබඳිමින් ලංකාවටම පැමිණියේය .හන්තාන අඩවියේදී මලය රජු කඩු පහරක් එල්ල කරත්ම ඌරා ගලක් බවට පත්විය .(මෙම ගල හන්තාන කඳු වැටියේ ඇති ඌරා කෙටූ ගල බව විශ්වාස කෙරේ.)
                                     
හන්තාන කඳුවැටිය දකුණු අන්තයේ සිට.
                       
හන්තාන කඳුවැටිය දිවිදොස් කන්දේ සිට.(මහවැලි ගඟ අසල ඇත්තේ ප්‍රිම් රෝස් කන්දයි )
                             
                                        එවිට රජු ඉදිරියට පැමිණි ශක්‍ර දෙවියන්  මලය රජු ලංකාවට කැඳවාගෙන ඒමට හේතුව පවසන ලදී.පඬුවස්දෙව් රජු සුවපත් කිරීමට අවශ්‍ය යාගය පැවැත්වීමට මුලින්ම යෝජනා වූයේ දිවිදොස් කන්ද පාමුලදීය නමුත්   එහි ඉඩකඩ මදි බැවිනි යාගය පැවැත්වූයේ අනුරාධපුර මහමෙව්නා උයනේදීය.
                             
මහමෙව්නා උයනේ සමාධි බුදු පිළිමය
                             පඬුවස්දෙව් රජුගේ දිවි දෝෂය එයින්  සුවපත් වූ පසු මලය රජු නැවතත් සිය රටට යෑමට පෙර නැවතත් එම යාගය පැවැත්වීමට අවශ්‍ය දේ යාගය පැවැත්වීමට උපකාරී වූ කොහොඹා යකාට උගන්වා තම ඔටුන්නත් ඔහුට ලබාදී ඇත.(මේ නිසා මෙය කොහොඹා කංකාරිය නම්වන බව පැවසේ.)මලය රජුගේ ඇඳුම් කට්ටලය වර්ථමාන උඩරට වෙස් ඇඳුමට පාදක වූ බවට මතයක්  ජනප්‍රවාදයේ පවතී.

කොහොඹා කංකාරියේ අවස්ථාවක්.(ඡායා රූපය අන්තර්ජාලයෙනි )

 (කුවේණියගේ ශාපය ,කොහොඹා කංකාරියේ ආරම්භය පිලිබඳ මෙයට වෙනස් ජනප්‍රවාද රැසක් ඇති අතර ඔබ දන්නා විස්තර මෙයට කමෙන්ට් ලෙසින් එක්කරන්න)        
       
                                        මෙම ලිපිය ලිවීමට මූලික වූයේ දිවිදොස් කන්දට එම නම ලැබුණු කතාව සොයාගැනීමට කළ උත්සහයයි.මීට කලකට පෙර  අසා තිබුණු එම කතාව සොයාගැනීමට නොහැකි වුවත් ඊට පාදක වූ දිවිදෝෂයේ කතාව ලියා තැබුවේ ඉදිරියට මේ කතාවට සම්බන්ධ යක්දෙස්සාගල කන්ද ,හන්තාන කඳුවැටිය ,දිවිදොස් කන්ද සහ මහමෙව්නා උයනට මා කළ සංචාර පිලිබඳ සටහන්වලට ආරම්භයක් ලෙසයි.

Friday, September 22, 2017

යක්දෙස්සාගල Yakdessagala

                             කුරුණෑගල සිට වාරියපොල මාර්ගයේ ගමන්කරන කෙනෙකුට තරමක් අවධානයෙන් අවට නැරඹුවොත් පාරේ වම්පසින් ඇති යක්දෙස්සාගල කඳුවැටිය  දැකගන්නට පුළුවන් .මෙම කන්ද හා බැඳුණු ජනප්‍රවාදය පිළිබඳව මීට පෙර ලියූ කොහොඹා කංකාරියේ උපත සමග ලංකාවේ සංචාරේ සටහනේ සඳහන් වෙනවා. ශමින්ද රන්ශාන් විසින් ලක් දසුන් අඩවියේ සඳහන්කර ඇති ලැයිතුවකට අනුව යක්දෙස්සාගල කන්දට ලංකාවේ කඳු අතර හිමිවන්නේ සියවන ස්ථානයයි.

 යක්දෙස්සාගල

                          වසර හතරකට පෙර සිදු කළ මේ සංචාරය ආරම්භක සැලසුම වූයේ අපි පස් දෙනෙක් පේරාදෙණියට එකතුවී අලගල්ල කන්ද නැගීම වුවත් උදෑසන බස්නැවතුමේ සිටිද්දී දැනගන්නට ලැබුණේ  තුන්දෙනෙක්ම පොලු තබා ඇති බවයි .පැමිණි එකම මිතුරාගේ අදහස වූයේ කෙසේ හෝ  අලගල්ල තරණය කිරීමටයි.නමුත් කන්දේ මුදුනට යාමට තිබෙන සිංහ කට තරණය තරමක් අවදානම් නිසා කිහිපදෙනක් සමග එකතුවී මිසක් අප දෙදෙනා පමණක් යාම නුවණට හුරු නොවන බැවින්  මගේ තීරණය වූයේ ඊට වඩා පහසු යක්දෙස්සාගල තරණය කිරීමටයි.ඒ කාලය වෙද්දී මම තරණයට බලාපොරොත්තු වූ කඳුවලට යාමට  ඇවැසි තොරතුරු ලියා තැබූ කුඩා පොතක් තිබුණි .ඒ නිසා ගමන අමුතුවෙන්  සැලසුම් කිරීමට අවශ්‍ය  නොවූයෙන් අපි දෙදෙනා කුරුණෑගල බලා ගමන් කළෙමු .ප්‍රශ්නය තිබුණේ කුරුණෑගල සිට කන්ද පාමුලට යන ආකාරය පිළිබඳවයි.ලක්දසුන්  අඩවියට අනුව කන්ද නැගීමට අඩිපාර ඇරඹෙන්නේ සංවැලි විහාරය අසල ඇති පොකුණක් අසලිනි .නමුත් පෞද්ගලික වාහන වලින් ගමන්කර තිබුණු ඔවුන් ඒ අසලට යන බසයක් ගැන නොදැනසිටි අතර මා විමසූ විට පැවසූවේ වාරියපොල බස්‍ රථවලින් තරමක් ළඟට යාහැකි බවයි .ගූගල් මැප් එකේ සංවැලි විහාරය දක්වා නොතිබීම තවත් ගැටළුවක් විය.(මේ සංචාරය සිදුකළ කාලයේ street view පහසුකම නොතිබිණි ) මේ නිසා මම අදහස් කළේ වාරියපොල බසයක ගමන්කර මාස්පොතින් බැස එතැන්සිට පයින් යාමටයි .මාස්පොතට පැමිණෙන විට උදෑසන එකොළහ පසුවී තිබුණු අතර පරිසරයේ උණුසුම බලාපොරොත්තු වූවාට වඩා අධික විය .තද අව්වේ කුඹුරු යායක් මැදින් වැටී තිබුණු වැලි පාරක ගමන්කළ අපට දැනුණේ  පෝරණුවක් තුල ඇවිදිනවා මෙන් හැඟීමකි.


            එලෙස සෑහෙන දුරක් ගමන්කළ පසුව අපට ඉදිරියෙන් දකින්නට ලැබුණේ බස් රථය ගමන් ගන්නා මාර්ගයකි.එය දුටු විගස මගේ මිතුරා මා එතෙක් අසා තිබුණු සියළුම පරුෂ වචනවලට අමතරව ඔහුගේ නව නිර්මාණ වලිනුත් නොපැකිලව මට සංග්‍රහ කරන්නට යෙදුණි.ප්‍රධාන මාර්ගය ඔස්සේත් තරමක් දුර පැමිණි පසු අපට සංවැලි විහාරය ඉදිරියට පැමිණීමට හැකි වුවත් ඒ අසල පොකුණක් පැවතිය හැකි ලකුණක්වත් දැක ගැනීමට නොතිබිණි .කෙසේවෙතත් කන්ද පැත්තට තිබුණු අඩිපාරක් වියලීගිය මානා පඳුරු අතර දකින්නට තිබුණු නිසා අපි ඒ  ඔස්සේ ගමන් කරත්ම පිහිටි ගලේ සෑදී තිබුණු පොකුණ ඇස ගැටුණි.වියළි කාලය නිසා එහි වතුර අඩියටම සිඳී තිබුණි .ඒ අසල සරුවට අක්කපාන වැඩී තිබුණු අතර මම පළමුවරට අක්කපාන මල් දුටුවේ එහිදී යි.
අක්කපාන 

            එතැන සිට කැළය තුළට යාමට පැහැදිලි  අඩිපාරක් විය.මෙම අඩිපාර කැළය  තුළට පිවිසෙන කොටසේ හා කඳු මුදුනට ආසන්න කොටසේ පැහැදිලිව තිබුනත් ඒ අතරමැද සොයා ගැනීම තරමක් අපහසු බැවින් ඒපිළිබඳව කල්පනාවෙන් ගමන්කළයුතුය. කෙසේවෙතත් කැලයට පිවිසි පසු උස්ව වැඩී තිබුණු ගස් වලට අපව හිරුගෙන් වසන් කිරීමට හැකියාව තිබුණු නිසා අපේ ගමන පහසු විය.



                          කඳු මුදුනට ආසන්නවත්ම එතෙක් වෙලා පානය කළ වතුර බෝතලය අවසන්වූ අතර අනෙක් වතුර බෝතලය සොයාගැනීමට නොමැති විය.එයත් සමග මිලට ගත් කෑම පාර්සලයත් නොතිබූ නිසා අපට පැහැදිලි වූයේ ඒ සියල්ලම කඩයේ දමා පැමිණ ඇති බවයි .ඉහින් කනින් දාඩිය වගුරමින් සිටි අපට  වතුර නොමැති වීම දරාගත නොහැකි වූවත් කඳු මුදුන පෙනි පෙනී ආපසු හැරීමට  සිත් නොවිණි .ඒ මොහොතේ ගතහැකි අඥානම තීරණය ගෙන අප දෙදෙනා නැවත ගමනාරම්භ කළේ ඉහලටම යාමටයි .කළුගලින් සෑදී තිබුණු කඳු මුදුන අවට නැරඹීමට පැවතිය හැකි අනර්ඝම ස්ථානකි.එතැන්සිට කිසිදු බාධාවකින් තොරව අංශක 360ක පරාසයක් නැරඹීමට හැකිය.

කඳු මුදුනේ සිට-ඉදිරියෙන් පෙනෙන්නේ නාථගනේ කන්දයි

යක්දෙස්සාගල කඳුවැටිය

මගේ ගමන් සගයා කඳු මුදුනේ සවිකර ඇති කොඩි කණුව අසල


                   
                  ගිනියම් අව්වේ වුවත් මෙවැනි කඳු මුදුනක සිටිද්දී සුළඟ නිසා ඇඟට ව්‍යාජ සුවයක් දැනුනත් ඇඟ ඉක්මනින් විජලනයට  ලක්වෙන බව අපට ඒවෙද්දී වැටහුණේ නැත.අප ඉක්මනින්ම කන්ද බැසීම ආරම්භ කළේ පිපාසය එන්න එන්නම වැඩිවූ නිසාවෙනි.පන්සල අසලට ලඟාවන විට මගේ මුහුණේ දහඩිය වියලී ලුණු කුඩු මෙන් බැඳී තිබුණු අතර දෙතොල්ද වියලී තිබුණි .පන්සලට පැමිණි පසු එහි වැඩ සිටි කුඩා හාමුදුරුනමක් අපට බීමට වතුර ලබාදී මුහුණ සෝදාගැනීමට කරාමයක් අසලට කැඳවාගෙන යාමට කරුණාවන්ත විය.ඉන්පසුව ඇඟට තරමක පහසුවක් දැනුනු අතර හිතේ සතුට තවත් වැඩිකරමින් එවිටම පැමිණි  කුරුණෑගල බස් රථයට නැග ගැනීමට හැකිවිය.හොඳින් ඉඩ තිබුණු බස්‍ රථයට නැගි විගස අයිනක් අල්ලාගෙන නිදාගත්තේ හිසේ කැක්කුමක් ද හටගෙන තිබුණු බැවිනි.කුරුණෑගලින් බසයෙන් බැසගත් විගසම කකුල් වල කෙන්ඩා පෙරළුණු අතර අසල වැටක් අල්ලාගෙන මද වෙලාවක් සිට ගමන්කළේ අසල හෝටලයකින් නැවතත් යමක් පානයට ගැනීමටයි .හෝටලයට ආසන්නවත්ම අවට ශබ්දය ඇසීම සීඝ්‍රයෙන් අඩුවූ අතර පරිසරයත් අඳුවන බවක් දැනුනත් විදුලි පංකාවක් යටට වී සීතල චොකලට් කිරි එකක් බීමෙන් පසු තත්ත්වය තරමක් යහපත් අතට හැරුණි.ඉන් පසුව වායුසමනයකළ බසයකට නැගී මහනුවරට පැමිණෙනතෙක් වතුර මදින් මද පානය කළ පසුව දැනුන අපහසුතා නිමාවිය.

ප.ලි   
           මම ගවේෂණ චාරිකා ආරම්භ කළ සමයේ සිදුකළ මේ මෝඩ ක්‍රියාව ලියා තැබුවේ මෙවැනි ගමනකදී ජලයේ ඇති වැදගත්කම පෙන්වාදීමටයි.මේවෙද්දී මෙවැනි නොදන්නා ප්‍රදේශයක ගමනක් යනවිට එක් අයෙක්ට වතුර ලීටර් එකහමාරක් බැගින් අනිවාර්යයෙන් ගෙනයනු ලබනවා.දහඩියත් සමග සිරුරේ ලවණත් පිටවෙන නිසා මෙවැනි ගමනක් අතරතුර ජීවනී පානයත් ඇඟට ගුණයි ඒ නිසා ජීවනී පැකට් කිහිපයක් ,ලුණු කුඩුත් බෑගයේ නොවැරදීම තබාගන්නේ මෙවැනි අවස්ථාවල ප්‍රයෝජනයටයි.තවත් වැදගත් දෙයක්නම් මෙවැනි අවස්ථාවල තිබහ නැතිකිරීමට මත්පැන් ගැනීම විජලන තත්ත්වය තවත් උඝ්‍ර  වීමට හේතුවක් බවයි.(වතුරත් නැතිකොට ඕව කොහෙන්ද කියල හිතෙනව නම් එහෙම දේවල් වෙලාතියනවා කියල විතරක් කියන්නම්)

සංවැලි රජමහා විහාරය තවමත් google maps වල ඇතුල්කර නොමැති අතර මේ කන්ද නැගීමට යනවානම් යායුත්තේ කුරුණෑගලින් ගෝනගම බසයකයි
                 

Friday, August 18, 2017

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මුදුනට



                      මෙවර සංචාරක සටහන ලියවෙන්නේ  බඹර කන්ද දිය ඇල්ල මුදුනට සහ  ලංකා ඇල්ල නැරඹීමට මා කළ සංචාරය පිළිබඳවයි .බඹර කන්ද දිය ඇල්ල ( උස මීටර් 263) ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලයි නමුත් ලෝකයම සැලකූ විට මෙයට හිමිවන්නේ 299 වන ස්ථානයයි. 

 බඹර කන්ද දිය ඇල්ල

                        සති අන්තයක මගේ සහෝදර පිරිස සමග මේ ගමන යාමට කතාකරගත් කරගත් අපගේ බලාපොරොත්තුව වුනේ කලින් දවසේ බණ්ඩාරවෙල මහගෙදරට එකතුවී උදෑසනම පිටත්වීමටයි.සිකුරාදා හවස් වනවිටත් මගේ වැඩ කටයුතු නිමා නොවූ නිසා මම තීරණය කලේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන්කර උදෑසන කෙලින්ම ගමනට සම්බන්ධ වීමටයි.සාමාන්‍යයෙන් බසයෙන් පැය හතරක් පමණ ගතවන ගමනට දුම්රියෙන් පැය හතකට ආසන්න කාලයක් ගතවුනත් නිදහසේ ගමන්කළ හැකි නිසා මම කැමැත්ත දක්වන්නේ  සාමාන්‍යයෙන් දුම්රියෙන් ගමන් කිරීමටයි.ගම්පොළ දුම්රිය ස්ථානයට ගිය පසු බලාපොරොත්තුවූවාට වඩා සෙනගක් දකින්නතෙක් මට ඒ සිරිපා වාරය බව අමතකව තිබිණි .හැටන් දක්වා අනිවාර්යයෙන්  හිටගෙන යාමට සිදුවුවත් එතැන්සිට වාඩිවීමට ඉඩක් ලැබෙයි යන බලාපොරොත්තුවෙන් සිටිද්දී නිවේදනයක් නිකුත්කෙරුණේ සිරිපා සමය වෙනුවෙන් විශේෂ දුම්රියක් කොටුවේ සිට හැටන් දක්වා යොදා ඇති බවයි.රාත්‍රී තැපැල් දුම්රියට කලින් පැමිණි එහි සිටියේ ආසන ගණනටත් අඩු මගීන් පිරිසකි.(මේ දුම්රියේ පැමිණි බීමත් පුද්ගලයෙක්  සිහිල් සුලං ගත දැවටෙමින් පා පුවරුවේ සිට සුළුදිය පහකිරීමට පටන්ගෙන ඇත.එයින් ඇතිවූ ගැටළුව නම් ඔහුට දුම්රිය නැවතුමට පැමිණි බව අමතක වීමයි.සූටි කයියා එළියේ දමාගෙන පැමිණි ඔහු පියවි සිහියට පැමිණියේ ස්ථානාධිපතිතුමාගේ කෑගැසීමටයි) එම දුම්රියට නැගී හැටන් වලදී නැවතත් රාත්‍රී තැපැල් දුම්රියට මාරුවීමට හැකියාව තිබුණත් දිගටම එකම අසුනටවී නිදාගැනීමට සිතා මම එයට නැගීමෙන් වැළැකුණි .
                තරමක් පමාවී පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය දුටු මට දෙවියන් සිහිවිය.පා පුවරුවෙන් ඇතුලට යාමටවත් නොහැකි ලෙස මගීන්ගෙන් පිරී තිබුණු එයට සෑහෙන අමාරුවෙන් රිංගා ගැනීමට හැකිවිය .මෙම දුම්රියට ගම්පොළ දී කඳුකරය තරණයට අමතර ජවය සැපයීමට පිටුපසින් එංජිමක් සවිකරන නිසා ඒ ප්‍රමාදයත් සමග මට බැසයාමට සිත්වුනත් කෙසේ හෝ හැටන් දක්වා හිටගෙන යාමට  හිත හදාගතිමි. කල්පයක් තරම් දැනුණු පැය කිහිපයකින් පසු හැටන් වලට පැමිණි පසු  බැස ගිය පිරිස මෙන් දෙගුණයක් දුම්රියට නැගීමට සිටියෙන් මා පත්වූයේ කබලෙන් ලිපට වැටුණා වැනි තත්වයකටයි.එතැන්සිට බණ්ඩාරවෙලට ගමන්කළ පැය හතරක පමණ කාලය තුළ මට කකුල් දෙක සෙලවීමටවත් ඉඩක් නොතිබිණි .තත්වය මීටත් වඩා නරක් වීමට ඉඩක් නැතැයි හිතද්දීම සිරීපා කරුණාකර පැමිණි පිරිසගේ කරුණාව ඉවර වී තිබුණෙන් දුම්රිය මැදිරිය පුරා තැන තැන රණ්ඩු සරුවල් ඇරඹිණි .හෙලවීමටවත් බැරිව සිටිද්දී  මේ රණ්ඩු විසඳීම  උත්සහ ගත්තත් එය  කිසිදු ප්‍රතිඵලයක් නොමැති ගමණේ ඒකාකාරීත්වය නැතිවීමට හේතුවක් පමණක්ම විය .

හිමිදිරියේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය
                                               රෝද මත අපායෙන් මිදී ගෙදර පැමිණි මට අනෙක් අය සූදානම් වෙනතෙක් පැය දෙකක් පමණ නිදාගැනීමට හැකියාවක් ලැබුණි .මෝටර් රථයකින් බදුල්ල කොළඹ පාරේ කොළඹ දෙසට ගමන් ආරම්භ කළ අපේ පළමු නැවතුමවූයේ හපුතලේ නගරයයි.මට සිතෙන ආකාරයට ලංකාවේ අලංකාරම දර්ශනයක් සහිත නගරය හපුතලේ නගරයයි.ලංකාවේ  විශාල ප්‍රදේශක් මෙහි සිට කුරුළු ඇසින් නැරඹීමට හැකිය.(ලිප්ටන් සීට් නැරඹීමට දඹේතැන්න වතුයාය දෙසට ඇති මාර්ගය ඇරඹෙන්නේද හපුතලේ නගරයෙනි)

හපුතලේට පෙනෙන සුන්දරත්වය
                         
                                  තරමක් වෙලා අවට නරඹමින් සිට  අප ගමනාරම්භ කළේ ඉන්පසු කෙලින්ම බඹරකන්ද දිය ඇල්ල බලා යාමටයි .කළුපහන හන්දියෙන් හැරී යකාගේ පඩිපෙළේ (පඩිපෙළ කිව්වට තාර පාර) තරමක් දුර ගමන්කළ පසු අපට දිය ඇල්ල පළමුවරට දැකගැනීමට හැකිවිය.

 බඹර කන්ද දිය ඇල්ල

 බඹර කන්ද දිය ඇල්ල

                                     
 බඹර කන්ද දිය ඇල්ල
                                           
                                     පිවිසුම අසල ප්‍රවේශපත් කාර්යාලයෙන් දිය ඇල්ල මුදුනට යාහැකි ආකාරය අසාගත් අප දැනගත්තේ ඇල්ල පාමුලින් වම්පසට ඇති අඩිපාරේ ගමන්කළ යුතු බවයි.(මේ සංචාර මා සිදුකළේ වසර තුනකට පෙරදී වන අතර මෙම වසරේ තරුණයෙක් දිය ඇල්ල මුදුනින් ඇදවැටීම නිසා දැන් ඇල්ල මුදුනට අවසරයකින් තොරව ගමන් කිරීම තහනම් කර ඇතැයි දැනගන්නට ලැබුණි .)දිය ඇල්ල පාමුල තෙක් මාවත හොඳින් නිමකර තිබුණි .පාසල් නිවාඩු කාලයක සති අන්තයක් බැවින් ඇල්ල පාමුල සෑහෙන සෙනගක් දිය නාමින් විනෝද වෙමින් සිටි නිසා අපි ඉක්මනින් පයිනස් කැලය හරහා දිය ඇල්ල මුදුනට ගමන් ඇරඹූවෙමු .පොඩි කාලයේ පයිනස් කැළෑවල ලිස්සා වැටී  අත්දැකීම් සපිරි අපි ලිස්සන සුළු කොළ මතින් ප්‍රවේශමෙන් ගමන් කළෙමු.

පයිනස් කැලය තුලින් ඉදිරියට
                           
පයිනස් කැලය තුලින් ඉදිරියට
                                             
   තරමක් ඉහලට ගමන්කළ විට අඩිපාර දෙකට බෙදුනු අතර පහළට ගමන් කිරීමෙන් ලංකා ඇල්ල නැරඹීමට හැකි අතර ඉහලට ගමන් කිරීමෙන්  බඹරකන්ද ඇල්ල මුදුනට ගමන්කළ හැකිය.තරමක සෙනගක් ඉහලට ගමන්කළ නිසා අපගේ තීරණය වූයේ ලංකා ඇල්ල නැරඹීමට යාමටයි .ලංකා ඇල්ලට එම නම ලැබී ඇත්තේ ඇල්ල පාමුල ගලෙන් නිර්මාණය වී ඇති පොකුණේ හැඩය ලංකා සිතියමට සමාන නිසාවෙනි.( පෙනෙන්නේ ඕවලාකාර හැඩයකි)

ලංකා ඇල්ල බලා යන මග.

ලංකා ඇල්ල බලා යන මග.

 ලංකා ඇල්ල
                                            ඇල්ල නිර්මාණය කළ වතුර  පහර ඔස්සේ තරමක් පහලට ගමන්කරද්දී  ඉන තෙක් ගැඹුරු තැනක්  හමුවූ අතර අප එතැන දිය නෑමට තීරණය කළේ අන් කිසි තැනක දණහිස් තෙමෙන් තරම්වත් වතුර නොතිබූ බැවිනි .දිය නෑමෙන් පසු පිසදමා ගැනීමට තුවා ගෙනැවිත් නොතිබූ නිසා අසල ගල් තලාවකට වී  අපි ඇඟ වේලෙනතුරු නිදාගතිමු.ඉන්පසුව නැවතත් පැමිණි මග ඔස්සේම ගමන්කළ අපි බඹරකන්ද දිය ඇල්ල මුදුනට යාම ඇරඹූවෙමු .ඇල්ල මුදුනට ආසන්නව තිබුණු අඩි දහයක පමණ නෙරුම අගනා නැරඹුම් ස්ථානයක් වුවත් එතැනට ගමන් කිරීම ප්‍රවේසමෙන් කළ යුතුය .(වැටුණොත්  ඇත්තේ මීටර් 250කට වැඩි ප්‍රපාතයක් !! ) 
නෙරුමේ සිට දියඇල්ල පෙනෙන අයුරු
     
බඹරකන්ද දිය ඇල්ල මුදුනේ ඇති දිය ඇල්ල
                                                                           හෙමිහෙමින් ලංකාවේ උසම දිය ඇල්ල මුදුනට පැමිණි අපට දැකගන්නට ලැබුණේ ඒ මත පිහිටි තවත් දිය ඇල්ලකි.(එහි නමක් දැනගන්නට නොලැබුණි ) එය පාමුල අලංකාර පොකුණක් ඇති අතර එයින් බඹරකන්ද ඇල්ල නිර්මාණයවේ.ලංකාවේ උසම ඇල්ල වුවත් එය පෝෂණය වන දිය දහර ඉතාමත් කුඩා එකකි.ඒ අසල යට ඇඳුමින් පමණක් සැරසී  බීමතින් සිටි පිරිසක් නිසා නිදහසේ පරිසරයේ සිරිය විඳගැනීමටවත් ඡායාරූප ගැනීමටත් නොහැකිවිය.සුන්දර කඳු මුදුනේ සිට අසුන්දර මතකයක් සමග පහලට පැමිණි අප නැවත ප්‍රධාන පාරට පිවිස ගමන් කළේ පාළම් දෙක අසලටයි .මෙතැන සංචාරකයන් අතර විවේක ගැනීමට ප්‍රචලිතය.එතැන දිය ඇලි අසලට වඩා වතුර  තිබූ බැවින් අපි දිනය නිමා කළේ නැවතත් පැය ගණනක් දියනෑමෙනි.

පාළම් දෙක (ඡායාරූපය google street view ඇසුරිණි)

Thursday, August 3, 2017

ලංකාවේ තෙවැනියට උසම තොටුපොළ කඳු මුදුනට

                                             මම ජූලි මාසය  ආරම්භ කළේ කිහිප වරක්ම සැලසුම් කළත් ඉටුකරගැනීමට නොහැකි වූ තොටුපොළ කන්ද තරණය කිරීමෙනි(මුහුදු මට්ටමේ සිට උස 2357 m) .කිරිගල්පොත්ත තරණය පිළිබඳ  ලියූ සටහනේදී මම සඳහන් කළා ලංකාවේ තෙවැනියට උසම කන්ද වන තොටුපොළ කන්දත් පිහිටා තිබෙන්නේ මහ එළිය තැන්නේ බව.මීට පෙර හැම වරෙකම මෙම සංචාරය කිරීමට නොහැකි වූයේ ලෝකාන්තය  හෝ කිරිගල්පොත්ත නැරඹීමට  යාමෙන් පසු කාලය මදිවීමෙන් හා මහන්සිය වැඩි  නිසාවෙනි .එමනිසා මෙවර අපගේ බලාපොරොත්තුව වූයේ මුලින්ම තොටුපොළ නැගීමයි.වෙනදාට  දුම්රියෙන් ගමන්කර ඉතිරි  මුළු දුරම පාගමනින් යන අප මෙවර වෑන් රථයකින් යාමට යාමට තීරණය කළේ මිතුරියන් පිරිසකුත් ගමනට එක්වීම නිසාවෙනි .උදෑසනම නුවරින් පිටත්වුනු අප නුවරඑළියේ නැවැත්වූයේ උදෑසන ආහාරය ගැනීමටයි.සීතලේ වෙව්ලමින් සිටි අපට මස් හොදි සමග ලැබුණු  උණු උණු පරාටා දිව්‍ය භෝජනයක් බඳු විය. කෑම අවසන් කළ සැනින් ප්ලේන්ටියක් පානය කළේ තවදුරටත් සීතල පරාජය කිරීමටයි .

  ප්‍රවේශපත්  කාර්යාලය අසල   පොකුණ 
   
                                 ඉන්පසු නැවත ගමන් ආරම්භ කළ අපට මහ එලිය තැන්නට ආසන්නවත්ම  පෙනෙන්නට තිබුණේ ප්‍රවේශපත් නිකුත්කිරීමේ කාර්යාලය ඉදිරියේ පැවති දිගු වාහන පෝලිමයි.මාත් තවත් මිතුරෙකුත් වාහනයෙන් බැස ප්‍රවේශපත් කාර්යාලට ගමන් කළෙමු.කුඩා පොකුණක් ආසන්නයේ ඒ මතම වාගේ පිහිටා තිබුණු කාර්යාලය අසල සීතල දෙගුණ තෙගුණ වී පැවතියෙන් වෙව්ලමින් පෝලිමේ සිටීමට සිදුවිය .ප්‍රවේශපත් කවුළුවේ සිට මද දුරක් ගමන්කළ පසු අපට තොටුපොළ කන්ද පිවිසුම අසලට ලඟාවීමට හැකිවිය.බලාපොරොත්තු වූ පරිදිම ඒ අසල වාහන දකින්නට නොලැබුණේ මේ පිළිබඳ ඇති සංචාරක අවධානය අඩු බව පිළිබිඹු කරමින්.

ගමන්මගේ ඇරඹුම


වනය මැදින් ඇති අඩිපාර.(මෙහි පැහැදිලිව වියන් ස්ථරය හා පහත පඳුරු ස්ථරය දැකගත හැක)


වැසි,සුලං වලට ඔරොත්තුදීමට ඇඹරුණු අතු සහිත ගස්.(මේවායෙන් කෙඳි මෙන් එල්ලෙන්නේ මා සිතන ආකාරයට Fruticose
 වර්ගයට අයත් ලයිකන විශේෂයකි )

                                    ඒ අසල තිබුණු පුවරුවක සඳහන්කොට තිබුණේ රාවණාගේ දඬුමොණරය ගුවන්ගත කිරීමට භාවිතා කළ නිසා මෙම කන්ද තොටුපොළ කන්ද නම්වන බවයි .අඩිපාර ආරම්භයේ ගල් අල්ලා සකස්කර තිබුණත් ඉන් ඉදිරියට පැවතුණේ කැලය මැදින් වැටුණු පටු අඩිපාරකි.ලයිකන එල්ලෙමින් තිබුණු තෙතබරිත වූ ගස් මීදුම් සහිත කාලගුණයත් සමග පරිසරය යම් ගුප්ත ස්වභාවයකට දිස්විය.අඩිපාරේ ඇතැම් මග වැරදීමට හැකි තැන්වල නිවැරදි මාවත පෙන්වීමට පුවරු සවිකර තිබීම ඉතා ප්‍රයෝජනවත් විය .

මග පෙන්වන පුවරු

බෝවිටියා මල්
                      තරමක් ඉහලට ගමන්කරද්දී  මග දෙපස අලංකාර බෝවිටියා මල් පිරී තිබුණි .වෙනත් ප්‍රදේශ වලට වඩා තෙත් කලාපයේ කඳු ආශ්‍රිතව දකින්නට ලැබෙන ශාකවල වර්ණ තීව්‍රතාව වැඩි නිසා ඇසට පෙනෙන සෑම දෙයකම සුන්දරත්වය ඒහා සමානව වැඩිවී තිබිණි .ලංකාවේ තෙවැනියට උසම කන්දට යන ගමන්මග වුවත් කිසිදු සීඝ්‍ර නැගීමක් නොමැති වීම අපට  තරමක පුදුමයක් විය .තරමක පහසු ගමනකින් පසු කඳු මුදුනට පැමිණි අපට දැකගන්නට තිබුණේ මීදුමෙන් වැසුණු පරිසරයක් තුලින් නැගීසිටින සම්ප්‍රේෂණ කුලුනකි.

මීදුම අතරින් කණ්ඩායම ඉදිරියට

කඳු මුදුනේ සම්ප්‍රේෂණ කුලුන

                        වෙනදාට කඳු මුදුනකට පැමිණි විට දැනෙන හැඟීම මෙහිදී නොදැනුනේ පහසුවෙන් ලඟාවීමත් මීදුම නිසා අවට කිසිවක් නොපෙනීමත් නිසාවෙනි. අපහසු ගමනකින් සැතැපුම් ගණනක දුරක් දෙපයට පහතින් තිබෙනු දකිද්දී ලැබෙන ආශ්වාදය මෙවැනි සංචාර සඳහා මා පෙළඹෙන ප්‍රධාන හේතුවකි.මේ ගමනෙන් එම ආශ්වාදය නොලැබුනත් ලංකාවේ තෙවැනියට උසම කඳු තරණයේ මතක සිතේ සටහන් කරගනිමින් නැවතත් පසුකර ආ මනරම් අඩිපාර ඔස්සේ පහතට ගමන් ඇරඹූවෙමු .
                       



ගස් බෙනයක වැඩෙන මෙම අපිශාකය මට පෙනුනේ මව් කුසක ඇති කළලයක් වගේ

මහ ගහක් තව ශාක ගණනකට නිවහනක්වන හැටි.
  

                               
                                   කඳු මුදුනට පැමිණ ආපසු යාමට මුළු දුර ආසන්න වශයෙන් කිලෝමීටර හතරක්වන අතර එම දුර යාමට අපට පැයකුත් විනාඩි හතලිහක කාලයක් ගතවී තිබුණි.පහතට පැමිණි අප තීරණය කළේ කාලවේලාව පවතින බැවින් ලෝකාන්තය නැරඹීමට යාමටයි.(ඒ ගමනේ කතාව වෙනත් ලිපියකින් ලිවීමට බලාපොරොත්තු වෙමි)

Wednesday, July 19, 2017

දිවිදොස් කන්ද සංචාරේ

                     
 දිවිදොස් කන්ද                 
                        දිවිදොස් කන්ද නැත්නම් ගන්නෝරුව රක්ෂිය හෙක්ටයාර 64ක් වසා පැතිරී තිබෙන තරමක් කුඩා  වනාන්තරයක්.මෙම කන්ද සහ අවට ප්‍රදේශය සම්බන්ධ ජනප්‍රවාදයක් වන දිවිදෝෂයේ කතාව මීට පෙර ලිපියේ මා සඳහන් කළා.තවත් මෙම ප්‍රදේශය සම්බන්ධ ඉතාමත්  වැදගත් සිදුවීමක් වන්නේ 1638 සිදුවූ විජයග්‍රාහී ගන්නෝරුව සටනයි.මෙහිදී දෙවන රාජසිංහ රජුගේ මෙහෙයවීමෙන්  දියෝගෝ ද මේලෝ නායකත්වය දැරූ පෘතුගීසි හමුදාව පරාජය කරන ලදී. කෙසේවෙතත් දිවිදොස් කන්ද මට වැදගත් වන්නේ එය මවිසින් තරණය කළ පළමු කන්ද නිසාවෙනි .ඒ කාලයේ දැන් මෙන් කඳු නැගීමේ උණක් නොතිබුණත් මම පාසලේ සංගමයකින් සංවිධානය කළ ගවේෂණ චාරිකාවට එක්වුණේ මිතුරන් සමග ඇවිදීමට තිබූ ආසාව නිසාවෙනි . එයට තවත් හේතුවක් වූයේ ඒ දිනවල පදිංචිව සිටි නිවස මේ කන්දට ඉදිරියෙන් පැවතීමයි.එයින් පසු කඳු ගණනාවක් තරණය කළත් දිවිදොස් කන්දට නැවතත් යාමට  අවස්ථාවක් ලැබුණේ මෑතකදීය .ගමන ආරම්භ කිරීමට  රණබිම රාජකීය විද්‍යාලය ඉදිරිපිටදී අපේ කණ්ඩායම එක්විය . (මහනුවර සිට  මුරුතලාව,ගන්නෝරුව හෝ යටිහලගල බස්‍ රථ වලින් රණබිම රාජකීය විද්‍යාලය අසලට පැමිණිය හැක) පාසල පිටුපසින් ඇති මාර්ගය ඔස්සේ ගමන්කළ අප රක්ෂිතය පාමුල ඇති කුඩා ක්‍රීඩාංගනය වෙත ආවේ වනාන්තරයට ඇතුල්වීමට එතැනට  පැමිණි බවට යම් මතකයක් පැවති බැවිනි.

දං කැලය මැදින් ඉදිරියට                       
                                             දං ගෙඩි සමග මල්
අතරමගදී....
                  ක්‍රීඩාංගනය කෙළවර තිබුණු දං කැලය මගේ මතකයේ හොඳින්ම පැවතුණු නිසා අපි එතැනින් කැලයට පිවිසීමට තීරණය කළෙමු.අතරින් පතර තිබූ ඉදුණු දං ගෙඩි කමින් ඉදිරියට ගමන්කළේ හල්ඔළුව පාරට මුහුණලා ඇති ගල්පොත්තට ලඟාවීමටයි.දිවිදොස් කන්ද මුදුන ගස්වලින් ආවරණය වීම නිසා අවට නිරීක්ෂණයට හැකිවන්නේ එම ගල්පොත්තේ සිට සහ දිවිදොස් ගලේ සිට පමණයි.තරමක මහන්සියකින් පසු අපට ගල්පොත්තට ලඟාවීමට හැකිවුණි ,එතැන සිට මහවැලි ගඟ සහ ප්‍රිම්රෝස් කන්ද හොඳින් දැකගැනීමට හැකිවිය .මෙහි සිට මහවැලි ගඟේ පෙනෙන්නට තිබෙන කොටසේ ගල්පර බහුලව ඇති නිසා ගඟ ගලායන්නේ හඬනගාගෙන සුදු පෙන නගමින්  තරමක වේගයෙනි .(මහනුවර අවට දියේ ගිලීමෙන් සිදුවන අනතුරු බොහොමයක් සිදුවන්නේ එම කොටස ආශ්‍රිතවයි.)
                                
පළමු ගල්පොත්තට පෙනෙන දර්ශනය.(මහවැලි ගඟ අසල ඇත්තේ ප්‍රිම්රෝස් කන්දයි )



පුස් වැල

පුස් වැල
                                    ගල්පොත්ත මත හිඳ තරමක් වෙලා ගතකළ අප නැවත ගමන් ඇරඹුවේ දිවිදොස් ගල වෙත යාමටයි.දිගින් දිගටම ගමන්කළ අපට තරමක් විශාල පුස් වැලක් හමුවිය.එවිට මට වැටහුණේ අප දිවිදොස් ගල පසුකර පැමිණ ඇති බවයි.ආපසු හැරුණු අප කන්දේ දකුණු බෑවුමට ආසන්නව ගමන්කළේ නැවතත් දිවිදොස් ගල මගහැරීම වලක්වා ගැනීමටයි .අතරමගදී  තැනින් තැන රතුපැහැ රෙදි පටිවලින් මග සලකුණුකර තිබෙනු හමුවූ බැවින්  අප නිවැරදි මගට පැමිණි බව පැහැදිලි විය.මෙහි සිදුකරන පාසල් ගවේෂණ තරඟ සඳහා මෙලෙස මග සලකුණු යෙදීම සිදුකරන අතර පසුව ඒවා බොහොමයක්  ඉවත්කරන නිසා එම සලකුණු  ඔස්සේම ගමන්කිරීම අපහසු කරුණකි.සාමාන්‍යයෙන් දිවිදොස් කන්දේ ගවේෂණ තරඟ සංවිධානය කරන්නේ රණබිම රාජකීය විද්‍යාලයෙනි.(මෙලෙස විවිධ පාසල් ගවේෂණ තරඟ සංවිධානය කරන තැන් පවතී.උදාහරණයක් ලෙස  හන්තානේ කිංස්වුඩ් විද්‍යාලයේ ගවේෂණ තරඟ පවතී) දිවිදොස් ගල වෙත ගමන්කළ යුත්තේ තරමක අපහසුවෙනි. දිවිදොස් ගලට දකින්නට ලැබෙන දර්ශනය අපහසුවෙන් පැමිණි ගමනට ලැබෙන ත්‍යාගයක් බඳුය.

 දිවිදොස් ගලට පෙනෙන දර්ශනය
                       වම්පසින් හන්තාන කඳුවැටිය දකින්නට ලැබෙන අතර එතැන්සිට මොණරාගල /Peacock hill( ඌව පළාතේ  මොණරාගල නොවේ),අම්බුළුවාව,බතලේගල සහ අලගල්ල යන කඳු සියල්ලම නැරඹිය හැක.මෙතැනට මුලින්ම පැමිණි විටදී මේ කඳු පෙන්වාදුන් ගුරුතුමාගේ නමත් අලගල්ල නිසා ඒකාලයේ මගේ මතකයේ තිබුණේ අලගල්ල කන්ද පමණයි .මෙතැන් සිට පේරාදෙණිය උත්භිත උද්‍යානයත් මහවැලි ගඟ එය වටකරගෙන ගලාබසින ආකාරයත් දැකිය හැක. කලින් සඳහන් කළ පරිදි ගන්නෝරුව සටන මෙම ප්‍රදේශයේ පැවති අතර වැස්සට තෙමුණු වෙඩිබෙහෙත් පෘතුගීසින් විසින් කඳුපාමුල වියලද්දී සිංහල  දුනුවායන් දිවිදොස් ගලේ සිට ඊතල වලට ගිනිතැබූ කරුංකා සවිකර විදීමෙන් ඒ වෙඩිබෙහෙත් විනාශකර දැමූ බවට මතයක් ප්‍රදේශවාසීන් අතර  පවතී .එම මතයම දිවිදොස් ගල වෙනුවට ප්‍රිම්රෝස් කන්ද ආදේශ වී  අන්තර්ජාලයේ ඇතැම් අඩවිවල දකින්නට  ලැබුණි .කෙසේවෙතත් ප්‍රිම්රෝස් කන්දට වඩා දිවිදොස් ගලේ සිට පහතට පහරදීමේ හැකියාවක් ඇතිබව මගේ අදහසයි.තවද මෙයට පහලින් ඇති ප්‍රදේශයත් රණබිම නම්වීමම යුද්ධය මෙහි පැවති බවට සාක්ෂියකි .ඉන්පසු අපගේ අදහස වූයේ ආපසු යාමටයි.නිවැරදි පාර සොයාගත් පසු පහළට යාමට අපට ගතවූයේ විනාඩි විස්සක් පමණයි.සාමාන්‍යයෙන් මෙම වනය සතුන් නිරීක්ෂණයට ඉතා යෝග්‍ය වුවත් අප පැමිණියේ දහවලක බැවින් අපට ඒ සඳහා අවස්ථාවක් නොවීය.එහෙත්  අපට සමනල විශේෂ කිහිපයක්,පිනුම් කටුස්සෙක් සහ වැලිමුවන් දෙදෙනෙකුත් දැකගන්නට හැකිවූ නමුත් ජංගම දුරකථනයෙන් එම  සතුන් ඡායාරූප ගතකළ නොහැකි විය.

අතරමගදී....
දිලීර වර්ගයක්

කන්දේ එක් බෑවුමක වැඩී ඇති මහෝගනී ශාක.(දැව සඳහා වටිනා වුවත් මෙම ආක්‍රමනශීලී ශාකජෛව විවිධත්වයට අහිතකර බලපෑමකි )