Friday, August 18, 2017

ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල මුදුනට



                      මෙවර සංචාරක සටහන ලියවෙන්නේ  බඹර කන්ද දිය ඇල්ල මුදුනට සහ  ලංකා ඇල්ල නැරඹීමට මා කළ සංචාරය පිළිබඳවයි .බඹර කන්ද දිය ඇල්ල ( උස මීටර් 263) ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ලයි නමුත් ලෝකයම සැලකූ විට මෙයට හිමිවන්නේ 299 වන ස්ථානයයි. 

 බඹර කන්ද දිය ඇල්ල

                        සති අන්තයක මගේ සහෝදර පිරිස සමග මේ ගමන යාමට කතාකරගත් කරගත් අපගේ බලාපොරොත්තුව වුනේ කලින් දවසේ බණ්ඩාරවෙල මහගෙදරට එකතුවී උදෑසනම පිටත්වීමටයි.සිකුරාදා හවස් වනවිටත් මගේ වැඩ කටයුතු නිමා නොවූ නිසා මම තීරණය කලේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන්කර උදෑසන කෙලින්ම ගමනට සම්බන්ධ වීමටයි.සාමාන්‍යයෙන් බසයෙන් පැය හතරක් පමණ ගතවන ගමනට දුම්රියෙන් පැය හතකට ආසන්න කාලයක් ගතවුනත් නිදහසේ ගමන්කළ හැකි නිසා මම කැමැත්ත දක්වන්නේ  සාමාන්‍යයෙන් දුම්රියෙන් ගමන් කිරීමටයි.ගම්පොළ දුම්රිය ස්ථානයට ගිය පසු බලාපොරොත්තුවූවාට වඩා සෙනගක් දකින්නතෙක් මට ඒ සිරිපා වාරය බව අමතකව තිබිණි .හැටන් දක්වා අනිවාර්යයෙන්  හිටගෙන යාමට සිදුවුවත් එතැන්සිට වාඩිවීමට ඉඩක් ලැබෙයි යන බලාපොරොත්තුවෙන් සිටිද්දී නිවේදනයක් නිකුත්කෙරුණේ සිරිපා සමය වෙනුවෙන් විශේෂ දුම්රියක් කොටුවේ සිට හැටන් දක්වා යොදා ඇති බවයි.රාත්‍රී තැපැල් දුම්රියට කලින් පැමිණි එහි සිටියේ ආසන ගණනටත් අඩු මගීන් පිරිසකි.(මේ දුම්රියේ පැමිණි බීමත් පුද්ගලයෙක්  සිහිල් සුලං ගත දැවටෙමින් පා පුවරුවේ සිට සුළුදිය පහකිරීමට පටන්ගෙන ඇත.එයින් ඇතිවූ ගැටළුව නම් ඔහුට දුම්රිය නැවතුමට පැමිණි බව අමතක වීමයි.සූටි කයියා එළියේ දමාගෙන පැමිණි ඔහු පියවි සිහියට පැමිණියේ ස්ථානාධිපතිතුමාගේ කෑගැසීමටයි) එම දුම්රියට නැගී හැටන් වලදී නැවතත් රාත්‍රී තැපැල් දුම්රියට මාරුවීමට හැකියාව තිබුණත් දිගටම එකම අසුනටවී නිදාගැනීමට සිතා මම එයට නැගීමෙන් වැළැකුණි .
                තරමක් පමාවී පැමිණි රාත්‍රී තැපැල් දුම්රිය දුටු මට දෙවියන් සිහිවිය.පා පුවරුවෙන් ඇතුලට යාමටවත් නොහැකි ලෙස මගීන්ගෙන් පිරී තිබුණු එයට සෑහෙන අමාරුවෙන් රිංගා ගැනීමට හැකිවිය .මෙම දුම්රියට ගම්පොළ දී කඳුකරය තරණයට අමතර ජවය සැපයීමට පිටුපසින් එංජිමක් සවිකරන නිසා ඒ ප්‍රමාදයත් සමග මට බැසයාමට සිත්වුනත් කෙසේ හෝ හැටන් දක්වා හිටගෙන යාමට  හිත හදාගතිමි. කල්පයක් තරම් දැනුණු පැය කිහිපයකින් පසු හැටන් වලට පැමිණි පසු  බැස ගිය පිරිස මෙන් දෙගුණයක් දුම්රියට නැගීමට සිටියෙන් මා පත්වූයේ කබලෙන් ලිපට වැටුණා වැනි තත්වයකටයි.එතැන්සිට බණ්ඩාරවෙලට ගමන්කළ පැය හතරක පමණ කාලය තුළ මට කකුල් දෙක සෙලවීමටවත් ඉඩක් නොතිබිණි .තත්වය මීටත් වඩා නරක් වීමට ඉඩක් නැතැයි හිතද්දීම සිරීපා කරුණාකර පැමිණි පිරිසගේ කරුණාව ඉවර වී තිබුණෙන් දුම්රිය මැදිරිය පුරා තැන තැන රණ්ඩු සරුවල් ඇරඹිණි .හෙලවීමටවත් බැරිව සිටිද්දී  මේ රණ්ඩු විසඳීම  උත්සහ ගත්තත් එය  කිසිදු ප්‍රතිඵලයක් නොමැති ගමණේ ඒකාකාරීත්වය නැතිවීමට හේතුවක් පමණක්ම විය .

හිමිදිරියේ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය
                                               රෝද මත අපායෙන් මිදී ගෙදර පැමිණි මට අනෙක් අය සූදානම් වෙනතෙක් පැය දෙකක් පමණ නිදාගැනීමට හැකියාවක් ලැබුණි .මෝටර් රථයකින් බදුල්ල කොළඹ පාරේ කොළඹ දෙසට ගමන් ආරම්භ කළ අපේ පළමු නැවතුමවූයේ හපුතලේ නගරයයි.මට සිතෙන ආකාරයට ලංකාවේ අලංකාරම දර්ශනයක් සහිත නගරය හපුතලේ නගරයයි.ලංකාවේ  විශාල ප්‍රදේශක් මෙහි සිට කුරුළු ඇසින් නැරඹීමට හැකිය.(ලිප්ටන් සීට් නැරඹීමට දඹේතැන්න වතුයාය දෙසට ඇති මාර්ගය ඇරඹෙන්නේද හපුතලේ නගරයෙනි)

හපුතලේට පෙනෙන සුන්දරත්වය
                         
                                  තරමක් වෙලා අවට නරඹමින් සිට  අප ගමනාරම්භ කළේ ඉන්පසු කෙලින්ම බඹරකන්ද දිය ඇල්ල බලා යාමටයි .කළුපහන හන්දියෙන් හැරී යකාගේ පඩිපෙළේ (පඩිපෙළ කිව්වට තාර පාර) තරමක් දුර ගමන්කළ පසු අපට දිය ඇල්ල පළමුවරට දැකගැනීමට හැකිවිය.

 බඹර කන්ද දිය ඇල්ල

 බඹර කන්ද දිය ඇල්ල

                                     
 බඹර කන්ද දිය ඇල්ල
                                           
                                     පිවිසුම අසල ප්‍රවේශපත් කාර්යාලයෙන් දිය ඇල්ල මුදුනට යාහැකි ආකාරය අසාගත් අප දැනගත්තේ ඇල්ල පාමුලින් වම්පසට ඇති අඩිපාරේ ගමන්කළ යුතු බවයි.(මේ සංචාර මා සිදුකළේ වසර තුනකට පෙරදී වන අතර මෙම වසරේ තරුණයෙක් දිය ඇල්ල මුදුනින් ඇදවැටීම නිසා දැන් ඇල්ල මුදුනට අවසරයකින් තොරව ගමන් කිරීම තහනම් කර ඇතැයි දැනගන්නට ලැබුණි .)දිය ඇල්ල පාමුල තෙක් මාවත හොඳින් නිමකර තිබුණි .පාසල් නිවාඩු කාලයක සති අන්තයක් බැවින් ඇල්ල පාමුල සෑහෙන සෙනගක් දිය නාමින් විනෝද වෙමින් සිටි නිසා අපි ඉක්මනින් පයිනස් කැලය හරහා දිය ඇල්ල මුදුනට ගමන් ඇරඹූවෙමු .පොඩි කාලයේ පයිනස් කැළෑවල ලිස්සා වැටී  අත්දැකීම් සපිරි අපි ලිස්සන සුළු කොළ මතින් ප්‍රවේශමෙන් ගමන් කළෙමු.

පයිනස් කැලය තුලින් ඉදිරියට
                           
පයිනස් කැලය තුලින් ඉදිරියට
                                             
   තරමක් ඉහලට ගමන්කළ විට අඩිපාර දෙකට බෙදුනු අතර පහළට ගමන් කිරීමෙන් ලංකා ඇල්ල නැරඹීමට හැකි අතර ඉහලට ගමන් කිරීමෙන්  බඹරකන්ද ඇල්ල මුදුනට ගමන්කළ හැකිය.තරමක සෙනගක් ඉහලට ගමන්කළ නිසා අපගේ තීරණය වූයේ ලංකා ඇල්ල නැරඹීමට යාමටයි .ලංකා ඇල්ලට එම නම ලැබී ඇත්තේ ඇල්ල පාමුල ගලෙන් නිර්මාණය වී ඇති පොකුණේ හැඩය ලංකා සිතියමට සමාන නිසාවෙනි.( පෙනෙන්නේ ඕවලාකාර හැඩයකි)

ලංකා ඇල්ල බලා යන මග.

ලංකා ඇල්ල බලා යන මග.

 ලංකා ඇල්ල
                                            ඇල්ල නිර්මාණය කළ වතුර  පහර ඔස්සේ තරමක් පහලට ගමන්කරද්දී  ඉන තෙක් ගැඹුරු තැනක්  හමුවූ අතර අප එතැන දිය නෑමට තීරණය කළේ අන් කිසි තැනක දණහිස් තෙමෙන් තරම්වත් වතුර නොතිබූ බැවිනි .දිය නෑමෙන් පසු පිසදමා ගැනීමට තුවා ගෙනැවිත් නොතිබූ නිසා අසල ගල් තලාවකට වී  අපි ඇඟ වේලෙනතුරු නිදාගතිමු.ඉන්පසුව නැවතත් පැමිණි මග ඔස්සේම ගමන්කළ අපි බඹරකන්ද දිය ඇල්ල මුදුනට යාම ඇරඹූවෙමු .ඇල්ල මුදුනට ආසන්නව තිබුණු අඩි දහයක පමණ නෙරුම අගනා නැරඹුම් ස්ථානයක් වුවත් එතැනට ගමන් කිරීම ප්‍රවේසමෙන් කළ යුතුය .(වැටුණොත්  ඇත්තේ මීටර් 250කට වැඩි ප්‍රපාතයක් !! ) 
නෙරුමේ සිට දියඇල්ල පෙනෙන අයුරු
     
බඹරකන්ද දිය ඇල්ල මුදුනේ ඇති දිය ඇල්ල
                                                                           හෙමිහෙමින් ලංකාවේ උසම දිය ඇල්ල මුදුනට පැමිණි අපට දැකගන්නට ලැබුණේ ඒ මත පිහිටි තවත් දිය ඇල්ලකි.(එහි නමක් දැනගන්නට නොලැබුණි ) එය පාමුල අලංකාර පොකුණක් ඇති අතර එයින් බඹරකන්ද ඇල්ල නිර්මාණයවේ.ලංකාවේ උසම ඇල්ල වුවත් එය පෝෂණය වන දිය දහර ඉතාමත් කුඩා එකකි.ඒ අසල යට ඇඳුමින් පමණක් සැරසී  බීමතින් සිටි පිරිසක් නිසා නිදහසේ පරිසරයේ සිරිය විඳගැනීමටවත් ඡායාරූප ගැනීමටත් නොහැකිවිය.සුන්දර කඳු මුදුනේ සිට අසුන්දර මතකයක් සමග පහලට පැමිණි අප නැවත ප්‍රධාන පාරට පිවිස ගමන් කළේ පාළම් දෙක අසලටයි .මෙතැන සංචාරකයන් අතර විවේක ගැනීමට ප්‍රචලිතය.එතැන දිය ඇලි අසලට වඩා වතුර  තිබූ බැවින් අපි දිනය නිමා කළේ නැවතත් පැය ගණනක් දියනෑමෙනි.

පාළම් දෙක (ඡායාරූපය google street view ඇසුරිණි)

16 comments:

  1. Nice report, feel like going there soon

    ReplyDelete
    Replies
    1. ස්තුතිය .ගිහින් සතුටු වෙන්න පුළුවන් තැනක් .

      Delete
  2. ලස්සනට ඇල්ල ගැන විස්තර කරලා තියනවා. ඔය වගේ වටිනා කියන තැන් පරිස්සම් කරගන්න අපේ උදවියට ඕනි කමක් නෑ.එකනේ ඒ වගේ තැන්වල අසෝබන විදියට හැසිරෙන්නේ . නැතිනම් ඔබේ පොස්ටුවේ මීට වඩා අලංකාර පින්තුර ටිකක් අපට බලාගන්න තිබුණ.මට ඒ ගැන ඇත්තටම කණගාටුයි .

    ReplyDelete
    Replies
    1. මටත් අමාරුවෙන් එතනට ගියාම ඒ නටන පිස්සු දැකල එපා වුනා .මෙහෙම තැනක සංචාරය කරද්දී වගකීමෙන් හැසිරෙන්න ඕනි .නැත්නම් තමන්ට වගේම අනුන්ටත් වෙන්නෙ ලොකු හානියක් .මෙහෙම දේවල් නිසාසමහර පැතිවල ප්‍රදේශවාසීන් කැමති නෑ සංචාරකයො එනවටවත්.

      Delete
  3. අපිත් මේ ළඟදී ලංකා ඇල්ල ඇරෙන්න මේ හැම තැනකටම ගියා.. ඒ සුන්දරත්වය වින්ඳ නිසාම මේ පෝස්ට් එක හරි අපූරුවට දැනුනා

    ReplyDelete
    Replies
    1. එතන්ටම ගියපු එකේ තව ටිකක් පයින් ගියානම් ලංකා ඇල්ලත් බලාගන්න තිබ්බා.සඳවතීත් හොඳට ඇවිදල තියනව වගේ .

      Delete
  4. බක්කරේගේ සටහන් කවදත් රහයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමී ප්‍රතිචාරයට
      ජයවේවා !

      Delete
  5. කිට්ටුව පාතක තිබුණත් තාමත් යන්න බැරි වෙච්ච තැනක්.
    අගෙයි විස්තරය.

    ReplyDelete
    Replies
    1. නිවාඩු දවසක ටිකක් ඇවිදින්න ඔය පැත්තෙ බලන්න තැන් පිරිල තියනවනෙ.

      Delete
  6. කියන්නත් ලැජ්ජයි .. ගෙවල් පාරේ තිබිලාත් තාම ගිහිං නෑ බං.. සෙහ්.. පාලං දෙක ලඟ නාන්නත් පුලුවං ද? කොලඹ ඉඳල යද්දි ඔතනිං යන්නේ හෙම්බත්වෙලා නිසා කවදාවත් විශේෂ ලස්සනක් දැකලා නෑ..:(

    ReplyDelete
    Replies
    1. බලාගෙන ගියහම ඒ පැත්තෙ ඉන්න මිනිස්සුනෙ මේ මොනවත් බලන්න යන්නැත්තෙ.තියන වැඩ ඔක්කොම අත ඇරලා පොඩ්ඩක් ඇවිදල බලන්න .පාළම් දෙක නියම තැන නාන්ඩ .පොඩ්ඩක් පාර ගාවින් උඩට ගියාම නිදහසේ ඉන්න පුළුවන් .

      Delete
  7. මායි තව හතර පස් දෙනෙක් බඹරකන්ද දිය ඇල්ල බලන්න ගියා.. අපේ ගෘප් එක පොඩි ගෲප් එකක්.. එදා පිරිමි අය හුඟක් ඇවිත් හිටියා.. අපේ ගෲප් එකෙ පිරිමි ළමයි කිව්වා, ගැනු ළමයිව එතනට එක්ක යන එක හරි නෑ කියලා.. ඉතින් අවාසනාවට අපිට ඒ අවස්ථාව මඟ ඇරුනා... ගෑල්ලමයිටත් යන්න පුලුවන් විදියට විනෝද උනොත් නරකද මේ පිරිමි ළමයිට... දුක තමා...

    ReplyDelete
    Replies
    1. අපරාදෙ චාන්ස් එක.කොල්ලො සෙට් වුනහම ලිමිට් නෑ වගේනෙ ඉතින් පොඩි කණ්ඩායමක් ගියාම අවධානමක් තියනවා ඔහොම තැන්වලට යන එක,ඔයාලගෙ කණ්ඩායමේ පිරිමි ළමයින්ගේ තීරණය හරි.
      අරූ සබරෙ ද?

      Delete
  8. බඹරකන්ද දිය ඇල්ල දැකලා තිබුනාට උඩට නැගලා නෑ. ඊළග සැරේ යනවා යනවාමයි.

    ReplyDelete
    Replies
    1. අනිවා ගිහින් බලන්ඩ,ඒ පාරෙම ගිහින් හෝර්ටන් තැන්න බලන්නත් පුළුවන්නෙ.

      Delete