මම ජූලි මාසය ආරම්භ කළේ කිහිප වරක්ම සැලසුම් කළත් ඉටුකරගැනීමට නොහැකි වූ තොටුපොළ කන්ද තරණය කිරීමෙනි(මුහුදු මට්ටමේ සිට උස 2357 m) .
කිරිගල්පොත්ත තරණය පිළිබඳ ලියූ සටහනේදී මම සඳහන් කළා ලංකාවේ තෙවැනියට උසම කන්ද වන තොටුපොළ කන්දත් පිහිටා තිබෙන්නේ මහ එළිය තැන්නේ බව.මීට පෙර හැම වරෙකම මෙම සංචාරය කිරීමට නොහැකි වූයේ ලෝකාන්තය හෝ කිරිගල්පොත්ත නැරඹීමට යාමෙන් පසු කාලය මදිවීමෙන් හා මහන්සිය වැඩි නිසාවෙනි .එමනිසා මෙවර අපගේ බලාපොරොත්තුව වූයේ මුලින්ම තොටුපොළ නැගීමයි.වෙනදාට දුම්රියෙන් ගමන්කර ඉතිරි මුළු දුරම පාගමනින් යන අප මෙවර වෑන් රථයකින් යාමට යාමට තීරණය කළේ මිතුරියන් පිරිසකුත් ගමනට එක්වීම නිසාවෙනි .උදෑසනම නුවරින් පිටත්වුනු අප නුවරඑළියේ නැවැත්වූයේ උදෑසන ආහාරය ගැනීමටයි.සීතලේ වෙව්ලමින් සිටි අපට මස් හොදි සමග ලැබුණු උණු උණු පරාටා දිව්‍ය භෝජනයක් බඳු විය. කෑම අවසන් කළ සැනින් ප්ලේන්ටියක් පානය කළේ තවදුරටත් සීතල පරාජය කිරීමටයි .
 |
ප්‍රවේශපත් කාර්යාලය අසල පොකුණ |
ඉන්පසු නැවත ගමන් ආරම්භ කළ අපට මහ එලිය තැන්නට ආසන්නවත්ම පෙනෙන්නට තිබුණේ ප්‍රවේශපත් නිකුත්කිරීමේ කාර්යාලය ඉදිරියේ පැවති දිගු වාහන පෝලිමයි.මාත් තවත් මිතුරෙකුත් වාහනයෙන් බැස ප්‍රවේශපත් කාර්යාලට ගමන් කළෙමු.කුඩා පොකුණක් ආසන්නයේ ඒ මතම වාගේ පිහිටා තිබුණු කාර්යාලය අසල සීතල දෙගුණ තෙගුණ වී පැවතියෙන් වෙව්ලමින් පෝලිමේ සිටීමට සිදුවිය .ප්‍රවේශපත් කවුළුවේ සිට මද දුරක් ගමන්කළ පසු අපට තොටුපොළ කන්ද පිවිසුම අසලට ලඟාවීමට හැකිවිය.බලාපොරොත්තු වූ පරිදිම ඒ අසල වාහන දකින්නට නොලැබුණේ මේ පිළිබඳ ඇති සංචාරක අවධානය අඩු බව පිළිබිඹු කරමින්.
 |
ගමන්මගේ ඇරඹුම |
 |
වනය මැදින් ඇති අඩිපාර.(මෙහි පැහැදිලිව වියන් ස්ථරය හා පහත පඳුරු ස්ථරය දැකගත හැක) |
 |
වැසි,සුලං වලට ඔරොත්තුදීමට ඇඹරුණු අතු සහිත ගස්.(මේවායෙන් කෙඳි මෙන් එල්ලෙන්නේ මා සිතන ආකාරයට Fruticose
වර්ගයට අයත් ලයිකන විශේෂයකි ) |
ඒ අසල තිබුණු පුවරුවක සඳහන්කොට තිබුණේ රාවණාගේ දඬුමොණරය ගුවන්ගත කිරීමට භාවිතා කළ නිසා මෙම කන්ද තොටුපොළ කන්ද නම්වන බවයි .අඩිපාර ආරම්භයේ ගල් අල්ලා සකස්කර තිබුණත් ඉන් ඉදිරියට පැවතුණේ කැලය මැදින් වැටුණු පටු අඩිපාරකි.ලයිකන එල්ලෙමින් තිබුණු තෙතබරිත වූ ගස් මීදුම් සහිත කාලගුණයත් සමග පරිසරය යම් ගුප්ත ස්වභාවයකට දිස්විය.අඩිපාරේ ඇතැම් මග වැරදීමට හැකි තැන්වල නිවැරදි මාවත පෙන්වීමට පුවරු සවිකර තිබීම ඉතා ප්‍රයෝජනවත් විය .
 |
මග පෙන්වන පුවරු |
 |
බෝවිටියා මල් |
තරමක් ඉහලට ගමන්කරද්දී මග දෙපස අලංකාර බෝවිටියා මල් පිරී තිබුණි .වෙනත් ප්‍රදේශ වලට වඩා තෙත් කලාපයේ කඳු ආශ්‍රිතව දකින්නට ලැබෙන ශාකවල වර්ණ තීව්‍රතාව වැඩි නිසා ඇසට පෙනෙන සෑම දෙයකම සුන්දරත්වය ඒහා සමානව වැඩිවී තිබිණි .ලංකාවේ තෙවැනියට උසම කන්දට යන ගමන්මග වුවත් කිසිදු සීඝ්‍ර නැගීමක් නොමැති වීම අපට තරමක පුදුමයක් විය .තරමක පහසු ගමනකින් පසු කඳු මුදුනට පැමිණි අපට දැකගන්නට තිබුණේ මීදුමෙන් වැසුණු පරිසරයක් තුලින් නැගීසිටින සම්ප්‍රේෂණ කුලුනකි.
 |
මීදුම අතරින් කණ්ඩායම ඉදිරියට |
 |
කඳු මුදුනේ සම්ප්‍රේෂණ කුලුන |
වෙනදාට කඳු මුදුනකට පැමිණි විට දැනෙන හැඟීම මෙහිදී නොදැනුනේ පහසුවෙන් ලඟාවීමත් මීදුම නිසා අවට කිසිවක් නොපෙනීමත් නිසාවෙනි. අපහසු ගමනකින් සැතැපුම් ගණනක දුරක් දෙපයට පහතින් තිබෙනු දකිද්දී ලැබෙන ආශ්වාදය මෙවැනි සංචාර සඳහා මා පෙළඹෙන ප්‍රධාන හේතුවකි.මේ ගමනෙන් එම ආශ්වාදය නොලැබුනත් ලංකාවේ තෙවැනියට උසම කඳු තරණයේ මතක සිතේ සටහන් කරගනිමින් නැවතත් පසුකර ආ මනරම් අඩිපාර ඔස්සේ පහතට ගමන් ඇරඹූවෙමු .
 |
ගස් බෙනයක වැඩෙන මෙම අපිශාකය මට පෙනුනේ මව් කුසක ඇති කළලයක් වගේ |
 |
මහ ගහක් තව ශාක ගණනකට නිවහනක්වන හැටි. |
කඳු මුදුනට පැමිණ ආපසු යාමට මුළු දුර ආසන්න වශයෙන් කිලෝමීටර හතරක්වන අතර එම දුර යාමට අපට පැයකුත් විනාඩි හතලිහක කාලයක් ගතවී තිබුණි.පහතට පැමිණි අප තීරණය කළේ කාලවේලාව පවතින බැවින් ලෝකාන්තය නැරඹීමට යාමටයි.(ඒ ගමනේ කතාව වෙනත් ලිපියකින් ලිවීමට බලාපොරොත්තු වෙමි)