Monday, June 5, 2017

කිරිගල්පොත්ත තරණය - Kirigalpotta Hike

                             ලංකාවේ සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් අතර ඉතාමත් ප්‍රචලිත ස්ථානයක් තමයි "මහ එළිය තැන්න".මෙය හෝර්ටන් තැන්න කියල බොහෝදෙනෙක් හැඳින්වුවත් අනාදිමත් කාලයක සිට පැවතුණු මහ එළිය තැන්න නම මේ ප්‍රදේශට ගැලපෙන බව තමයි මගේ අදහස.කෙසේවෙතත් මෙහි පැමිණෙන සංචාරකයන් බොහෝදෙනා නොදන්නා කාරණයක් තමයි ලංකාවේ දෙවනියට උසම කිරිගල්පොත්ත කන්දත්(උස 2,388 m) තුන්වෙනියට උසම තොටුපොළ කන්දත්(2,357 m) මේ ආශ්‍රිතව පිහිටා තියෙන බව.

                                  මීට පෙර මා කිහිප වරක්ම මහ එළිය තැන්නේ සංචාරයකර ඇති නමුත් ඒ හැම අවස්ථාවක්ම සුපුරුදු ලෝකාන්තය නැරඹීමේ ගමනට සීමාවිය .එක් වරක් කිරිගල්පොත්ත නැගීමේ අරමුණින්ම රාත්‍රී තැපැල් දුම්රියෙන් පැමිණියත් අපගේ සුපුරුදු වාසනා මහිමයෙන් දුම්රිය පීලි පැනීම නිසා සියළුම සැලසුම් වෙනස්වී එක දවසේ ගමන දවස් දෙකක් වී ඉන්පසු ආපසු පැමිණි දුම්රියත් අතරමගදී කාර්මික දෝෂයකට ලක්වී වෙන්ඩ තියෙන හැම ආපදාවකටම ලක්වීමෙන් කෙළවර විය.එවරද ගමන් මහන්සිය නිසා කිරිගල්පොත්ත වෙනුවට ලෝකාන්තය බලා සැනසීමට සිදුවිය .පසු දවසක බණ්ඩාරවෙල අම්මාගේ මහගෙදර නෑදෑ සහෝදරයන් සමග කතාබහේ දී මගේ  අවාසනාවන්ත කිරිගල්පොත්ත චාරිකාව ගැන ඇසූ ඔවුන් එක පයින් කිරිගල්පොත්ත තරණයට කැමැත්ත පලකිරීම මට සිතාගැනීමටවත් නොහැකි විය.ඉන් අනතුරුව එළඹුණේ ගමන සැලසුම් කිරීමේ පියවරයි.
                           මහ එළිය තැන්නට පැමිණිය හැකි ප්‍රධාන මාර්ග දෙකෙන් එකක් පට්ටිපොලෙන් ආරම්භවන අතර අනෙක් මාර්ගයේ ආරම්භ සනිටුහන් වන්නේ ඔහියෙනි.කළුපහන සිට ඇරඹෙන යක්ෂයාගේ පඩිපෙළ (පඩිපෙළ කිව්වට පාර) අතරමගින් ඔහිය මාර්ගයට එක්වේ.මෙම මාර්ග දෙකෙහිම දුම්රිය ස්ථානවල සිට මහ එළිය තැන්නට  ගමන්කළ යුතු දුරවල් ආසන්නව සමානයි.(මීට අමතරව මහ එළිය තැන්නට පැමිණිය හැකි අඩිපාරවල් පැවතුනත් ඒවා නීතිවිරෝධී පිවිසුම් ලෙස සැලකේ.)මෙයින් අප තෝරාගත්තේ බණ්ඩාරවෙලට ආසන්න ඔහිය මාර්ගයයි.උදෑසන දුම්රියෙන් ඔහිය දුම්රිය ස්ථානයට ගොස් මහ එළිය තැන්නට ගමන්කර කිරිගල්පොත්ත තරණයෙන් පසුව හැකිනම් තොටුපොළ කන්දත් තරණයකර පට්ටිපොල දුම්රිය ස්ථානයට ළඟාවීම අපගේ සැලසුම විය (පට්ටිපොළ  මාර්ගය අතරමගදී තොටුපොළ කන්දට යන අඩිපාරේ පිවිසුම හමුවේ).

                   පසුවදා උදෑසන අප ගමනට අවශ්‍ය ආහාරය ගෙනයාමට සකස් කිරීම තරමක අපහසුවක් වූයේ පොලිතින් එතුම් හෝ පොලිතින් බෑග් වනෝද්‍යානයට ගෙනයාම තහනම් බැවිනි .අපි අනිවාර්යයෙන් සංචාරයකදී  කිසිදු අපද්‍රව්‍යයක් අතරමග නොදා ගෙන ආවත් බහුතරයකට තවමත් එවැනි පුරුදු නැති නිසා දැඩි නීති පනවා තිබීම පරිසර ආරක්ෂාව සඳහා ඉතා වැදගත්ය.කෙසේ හෝ සියලුදෙනා සූදානම් වී අවසානවූ පසු එළඹුණේ ප්‍රමාදය සඳහා එකිනෙකාට බැනවදිමින් දුම්රිය ස්ථානයට දිවීමේ වේලාවයි.අවසානයේ හති දමමින් පැමිණි අපට දුම්රියට නැගගැනීමට හැකිවූයේ විනාඩි දහයක දුම්රිය පමාවක් සිදුවීම නිසායි.කෙසේවෙතත් එම දිවීමෙන් අපගේ හැකියාවන් හොදින් පැහැදිලි වීම නිසා ආසන්න වශයෙන් කිලෝමීටර 34ක් ඇවිදීමේ තීරණය යලි සලකා බැලීමට එය හොඳ අවස්ථාවක් විය.ඔහියට පැමිණි අප සිව්දෙනා ත්‍රීරෝද රථක නැගී ප්‍රවේශ පත්‍ර නිකුත්කරන කාර්යාලය දක්වා පමණක්  ගමන්කිරීමට තීරණය කළේ එතැන්සිට ලෝකාන්තය පිවිසුම දක්වා සීඝ්‍ර නැග්මක් නොමැති නිසා අපට පහසුවෙන් පාගමනින් යාහැකි  නිසාවෙනි.

අතර  මගදී

අතර  මගදී
                                  අපේ තීරණයේ වටිනාකම වැටහුණේ උදෑසන සිසිල් සුළඟේ පහස විඳිමින් තැනිතලාව හරහා ඇරඹූ විටදීය .මීට පෙර දුම්රිය ස්ථානයේ සිටම පාගමනින් පැමින ඇති නමුත් අධික වෙහෙස සහ කල්ගත වීම නිසා පරිසරයේ සුන්දරත්වය විඳීමට නොහැකි විය.බොහොමයක් සංචාරකයන් පැමිණෙන්නේ පට්ටිපොළ සිට බැවින් අපට අතර මගදී හමුවූයේ වාහන කිහිපයක් පමණක් වුවත් Farr Inn එක පෙනෙන මානයට එද්දී වාහන සියගණනක් නවතා තිබෙන අයුරු දැකගන්නට ලැබුණි .Farr Inn එක පිටුපසින් ලෝකාන්තය දෙසට යන මාවතේ ආරම්භයේ ගමන් මළු පරීක්ෂා කරන කාර්යාලට ගොස් අපි කිරිගල්පොත්ත බලා ගමන්කරන බව දැන්වීමෙන් අනතුරුව නැවතත් හැරී Farr Inn එක අසලින් දකුණට ඇති අඩිපාර ඔස්සේ  ගමන ඇරඹූවෙමු .(කිරිගල්පොත්ත සංචාරය සඳහා අවසර ලබාදෙන්නේ උදෑසන 10ට පෙර පැමිණෙන සංචාරකයන්ට පමණක් බව විශේෂයෙන් දැනගතයුතුය.) කිලෝමීටර් 7ක ගමනේ ආරම්භය හොඳින් නඩත්තු කළ අඩිපාරක් විය නමුත් ඉදිරියට යත්ම මාවත පැවතියේ  යන්තමින් හඳුනාගත හැකිමට්ටමෙනි.

ගමන් මග



                                    දහස් ගණනක් ඇවිදීමෙන් අගල් බවට පත්වූ ලෝකාන්තය මගට සාපේක්ෂව කිරිගල්පොත්ත මග තාමත් නොඉඳුල්ය.මාවත ඇතැම් තැන්වලදී වතුර පහරවල් හා මඩ ගොහොරු හරහා  වැටී තිබීම ගමන දුෂ්කර කරනවාටත් වඩා ගමන සුන්දර කිරීමට  හේතුවිය (මහ එළිය තැන්නේ කූඩැල්ලන් නොමැති වීම සිතට නිදහසකි) .අපට යන මගදී හමුවූයේ කණ්ඩායම් දෙකක් පමණක් වීම  පුදුමසහගත වූයේ ලෝකාන්තය බලා දහසකට ආසන්නව සංචාරකයන් ගමන්කරනු දුටු බැවිනි.

කිරිගල්පොත්ත ඇත්තේ මෙම කන්දට එපිටිනි
                                  තැනිතලාවේ ඈතින් පෙනෙන්නට තිබුණු කන්ද අපගේ ගමනාන්තය ලෙස සිතා ගමන්කළත් මගදී හමුවුණු පිරිසක් අපට පැවසූවේ එම කන්ද තරණයෙන් පසුව කිරිගල්පොත්ත කන්ද හමුවන බවයි.ඔවුන්ට ස්තූති කළ අපි මහ බෝවිටියා මලින් සැරසුණු වනපෙත් පසුකරමින් ඉදිරියට ඇදුනෙමු .පැය තුනක පමණ ගමනකින් පසුව අපට ලංකාවේ දෙවනියට උසම කඳු මුදුනට පැමිණිය හැකිවිය.කඳු මුදුන අසලට පැමිණෙන අඩිපාර ප්‍රපාතයකට ආසන්නව ඇති නිසා ප්‍රවේශම් වියයුතුය.(අධික මීදුම ඇතිවිට වඩාත් කල්පනාකාරී වියයුතුය .)විටින් විට අවට  මීදුමෙන් වැසෙමින් පැවතීම අපට දැනුනේ අප වලාකුළු මතින් ඇවිද යන්නාක් මෙනි.
                           

කිරිගල්පොත්ත  කඳු මුදුන
 කඳු මුදුනට 

                       
 කඳු මුදුනට පෙනෙන දර්ශනය
                             

                                             දිවා ආහාරයත් ගෙන මදක් විවේකීව ගතකළ අප නැවතත් ගමන් ආරම්භ කළේ පාගමනින්ම ගමන්කරන අපට කාල කලමනාකරණය ඉතා වැදගත් නිසාවෙනි .හනි හනිකට ගමන්කළ අපිට තරමක් දුර යද්දී අඩිපාර තරමක් නුපුරුදු බවක් දැනුනත් මඩේ සටහන්ව තිබුණු සපත්තු අඩි නිසා ඒ මගේම ඉදිරියටම ගමන්කළෙමු.මදක් දුර යද්දී උස් හඬින් කතා කරන ශබ්දයක් ඇසුනු අතර විපරම් කර බැලීමේදී දහයක පමණ කණ්ඩායමක් බහින්බස් වන අයුරු පෙනෙන්නට තිබුණි.තරමක් ළංවත්ම වැටහුණේ වැරදි පාරක පැමිණීම පිලිබඳ ඔවුන් වාදකරන බවයි.තැනිතලාවේ බහුලව ඇති ගෝනුන් ගමන් කරන අඩිපාරක ඔවුන් පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමන නිසා අපත් වැරදි පාරේ පැමිණ තිබුණි.මම ජංගම දුරකථනයේ අප ගමන්කරන මාර්ගය සටහන්වීමට සකසා තිබූ නිසා එමගින් නිවැරදි මාවත සොයාගැනීමට උත්සහ කළත් ඒවන විට gps සංඥා නොමැති බව තිරයේ දිස්විය.නමුත් එයින් අප නිවැරදි මාවතෙන් වැඩි දුරක් ඉවතටගොස් නොමැති බව දැනගැනීමට හැකිවිය .මඩේ එරෙමින් පඳුරු අතරින් අප කිහිපදෙනක් ගමන්කර මදවේලාවකින් නිවැරදි මග සොයාගත් අතර ඉතුරු පිරිස කැඳවාගෙන ගමන නැවත ආරම්භ කරත්ම තවත් කණ්ඩායමක් අප පැමිණි ගෝන මාවතේ එන ආකාරය දැකීම පාර වැරදීමෙන් සිත් කැලඹීමෙන් සිටි සැමට බඩ අල්ලාගෙන සිනාවීමට ප්‍රමාණවත් විය.තවත් පැයක් පමණ ගමන්කළ අපට ඈතින් කාර්යාල ගොඩනැගිලි දැකීමට ලැබීම කිරිගල්පොත්ත මුදුනට නැගීම හා සමාන ප්‍රීතියක් විය.නැවතත් පැමිණි බව කාර්යාලට දැනුම්දීමෙන් පසු අපි ඔහිය බලා ගමන් ඇරඹූවෙමු.වැඩි දුරක්‍ යෑමට පෙර අප අසල නැවතූ වෑන්රියකින් පහලට යන්න නැගපන් කියා නිමකරන්නටත් පෙර අප එයට නැගුණේ දෙපාවලට විවේකයක් ලබාදීමේ දැඩි අවශ්‍යතාව නිසාවෙනි.ගාල්ලෙන් පැමිණි කුඩා පවුලක් වෑන්රියේ සිටි අතර ඔවුන්ගේ උපකාරය නිසා අපේ පාගමන කිලෝමීටර් දහයකින් අඩුකරගැනීමට හැකිවිය.ඔහියට පැමිණි අපි දුම්රිය පැමිණෙනතුරු උණු ඉඟුරු තේ බොමින් කිලෝමීටර් විස්සක පාගමන හා ලංකාවේ දෙවනියට උසම කන්ද තරණයේ මතක තවත් වර්ණවත් කළෙමු.
                               
බෝවිටියා මලක්
මලින් පිරීගිය විසල් වනේ





                              (කිරිගල්පොත්ත අඩිපාර වරින්වර නඩත්තු කරන නිසා අප මෙන් අතරමන්වීමේ හැකියාව අවමයි.නමුත් ඒ අඩිපාර මෙන්ම ගෝනුන් ගමන් කරන අඩිපාරවල් බහුලව ඇති නිසා ඒ පිලිබඳ අවධානය යොමුකළ යුතුය.)

19 comments:

  1. මාත් කීපවරක් ලෝකාන්තෙ බලන්න ගිහින් තිබුණත් ඔය කඳු දෙක නගින්න ලැබිල නෑ.
    නියම ගමන් විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. ලෝකාන්තට යන ගමනත් සුන්දරයි.ඒ වුනාට කිරිගල්පොත්ත ගමන ඊට වඩා වෙනස්ම අත්දැකීමක්.වෙලාවක ගිහින් බලන්න.

      Delete
  2. එතකොට තොටුපල කන්ද නැග්ගේ නෑ?

    මිට අවුරුදු විසි දෙකකට කලින් අපි උසස්පෙළ ලියල ඉවර උන ගමන් ට්‍රිප් එකක් යන්න යෝජනා උනා එතන හිටිය අපි 6-7 දෙනෙක් මතක විදියට.. හිතාගෙන හිටියේ ලෝකාන්තේ බලල කිරිගල්පොත්තත් නැගල එදා රෑ එහෙ කොහේ හරි කෑම්පින් කරලා පහුවෙනිදා තොටුපොල කන්ද ද අරකද මේකද ඔක්කොම කවර කරන්න..
    ඔය කියුව වගේම අපිත් බදුල්ලෙන් උදේ කෝච්චියේ ඇවිත් ඔහීයෙන් බැහැල වහනයක් අරගෙන උඩට ගිහින් ලෝකාන්තේ බලන්නත් ගියා.. ඒ කාලේ මෙහෙම පොලිතින් චෙක් කිරිලි නම් තිබ්බේ නෑ..ඒත් බෝතල් ගෙනියන්න දුන්නේ නෑ.. අපි කොහොමහරි ඇස් වහල ඒකත් කර ගත්ත.. ලෝකන්තේ බලල ආපහු එන ගමන් බේකර්ස් ඇල්ල තියෙන පාරෙන් ඇවිත් හවස්වෙනකම් එතන ඉඳන් හොඳට බිලා නෑවා.. හවස හයටද කොහෙද කලින් එලියට යන්න ඕනි කතාවක් කවුද කියපු නිසා කට්ටිය හීතලේ ගැහි ගැහි ආපහු ආව.. බේකර් ඇල්ලේ නාපු රඟේ දැනෙන්න ගත්තේ හය පහු වෙනකොට.. කොහොම හරි අපේ අදහස තිබ්බේ කරුවල වැටුනම කැලේට රිංගල කුඩාරමක් ගහගෙන ඉන්න.. කොච්චර හොඳට ප්ලාන් කරලද කියුවොත් ඉටිරෙද්දකුයි ලණු කැරලි දෙක තුනකුයි ඇරෙන්න වෙන මොන ලබ්බක්වත් නෑ කෑම්ප් කරන්න. ගෙනාපු අරක්කු සිගරට් ඔක්කොම ඉවරයි ඒ වෙනකොටම.. කන්න ඉතුරු වෙලා තිබ්බේ සැමන් ටින් දෙක තුනක් විතරයි.. මොන රෙද්දේ කැම්පින් ද හීතලේ ගැහි ගැහි කියල අපි කලුවරේම පට්ටිපොළ පාරෙන් එන්න පිටත් උනා.. ඇවිදිනකොට එච්චර අමාරු නෑ.. එකතැන හිටගත්තා ගමන් හීතලට ගැහෙනවා.. අන්තිමට රෑ අට නවයට විතර මහා කැලේ මැද ලයිටර් වලින් රත්කරගෙන සැමන් ටින් ටික කඩාගෙන කාල කොහොම හරි රෑ දහයට කිට්ටුව වගේ පට්ටිපොළ ඉස්ටේසම ට ආවා.. ඈතින් එනකොට බදුල්ලේ ඉඳල එන නයිට් මේල් එක එනවා පෙනුන නිසා ඇර සෝලෝ කියල අන්තිම ටිකේ දුවගෙන ඇවිත් කෝච්චියේ බෆට් එකෙන් සිගරට් සහ කන්න මොනවද ටිකකුයි ගන්න පුළුවන් උනා.. ඊළඟට ස්ටේෂන් මාස්ටර් ට ගිහින් මම කතා කළා අපේ තාත්තා හිටපු හෙඩ් ගාඩ් අහවලා කියුවම එළිවෙනකම් ඉන්න අපිට පාර්සල් කාමරේ ඇරලා දුන්න.. කොහේ ඉන්නද? ගෑවෙන ගෑවෙන තැන පිච්චෙනවා වගේ හිතල.. ඒ පාර අර ඉටිකොළ පොරවාගෙන අපි එක ගුලියට පෙරලි පෙරලි හිටියා පාර්සල් කාමරේ.. :)

    එදා ට්‍රිප් එක ගැන කියන්න තව ගොඩක් විස්තර තියෙනවා.. උඹට කියන්න.. මේක කියවන්න කලින් මම කියෙව්වේ කොලොම්පුරේ ලියපු මීමුරේ ට්‍රිප් එක ගැන ලිපිය.. ඒක කියවල කන්න යන ගමන් හිතුවේ මම ගියපු ගිහින් කට්ට කාපු ට්‍රිප් ගැන 'ට්‍රිප් කටු' කියල පෝස්ට් එකක් ලියන්න ඕනි කියල.. හෙහ්.. ඒ හිතල ඇවිත් මේක කියෙව්වම ඔන්නොහෙ මෙතනම එකක් ලියල දාන්න හිතුන.. :))

    ට්‍රිප් යනවනම් උඹල වගේ හොඳට හිතල මාතල ප්ලෑන් කරලා යන්න ඕනි.. නැත්නම් අපි වගේ කටු කන්න සුදානමින් යන්න ඕනි.. :))

    ReplyDelete
    Replies
    1. ඔය විස්තරේ තව ලුණු ඇඹුල් ඇතිව හිලාකතේ ලිව්වානම් නරකද මිස්ටර් කමි... අපිත් බලාගෙන ඉන්නවා.

      Delete
    2. හි හි.. උඹ මේක දැක්කද? මම හිතුවේ කවුරුත් දකින එකක් නෑ කියල.. හෙහ්.. දැන් ඉතින් ලියන්නම වෙනවා.. :)

      Delete
    3. ඔය තියන්නේ පෝස්ට් දෙක තුනක් ලියන්ඩ අත්දැකීමක් .දැන්නම් ඇතුළට යද්දි එයාපෝට් එකට යනව වගේ චෙක් කරන්නෙ අනිත් එක දැන් ඇතුලෙ කෑම්ප් කරනවනම් රුපියල් තුන්දාහක්ද කොහෙද ගෙවල කෑම්ප් සයිට් එකක් වෙන්කරගන්ඩ ඕනි.

      එද්දී කට්‍ටිය බාගෙට මැරිලා වගේ හිටපු නිසා ඒ සැරේ තොටුපොල යන්ඩ අපිට බැරිවුණා.

      Delete
    4. කොමාන්ඩර් සෑර්, ඒ කාලේ හැමෝම එකයි වගේ.

      අඩුම ගානේ බැනියමක් වත් අඳින්නේ නැතුව ගෙදර හිටිය විදියට නිකං සේට් එකයි කලිසමයි පිටින් මහා රෑක පිදුරුතලාගල නැගල බැස්ස සන්දියකුත් තිබුණා ඉස්සර කාලේ.
      ඒ කාලේ රෑට උෂ්ණත්වේ බහිනවා 3ට 4ට. අන්තිමට නුවරඑලිය ඉස්ටෑන්ඩ් එකට ඇවිත් බස් එකක නිදා ගත්තා. හිතාගන්ඩ පුළුවන් සෑර්ල පට්ටිපොළ පෙරලි පෙරලි හිටිය හැටි.

      Delete
  3. ලස්සන ෆොටෝ ටිකක්. හොඳ සටහනක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද ප්‍රතිචාරයට .නිවාඩු වෙලාවක ඇවිදල බලන්න.

      Delete
  4. හැමදාමත් වගේම සටහන වගේම ලස්සන කතා කරන පින්තූර.... හරිම අපූරුයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කිරීමට.මේ ප්‍රතිචාර දිගටම ලියන්න ලොකු තල්ලුවක්.

      Delete
  5. අඩේ සුප්පා පැත්තක්නෙ බන්...පින්තූර ටිකත් මසුරන් බන්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට .මේ පැතිවලත් රස්තියාදු ගහල බලන්න .

      Delete
  6. අනේ බක්කරේ මේ කඳු ගමන්, කැම්පින්, ඇඩ්වෙන්චර් මං ආසම දේවල්.. ගැනු ළමයෙක් උනාට මං හුඟක් ආසයි ඒ වැඩ වලට.. මේවා දාලා මාව දුකට පත් කරනවා බක්කරේ

    ReplyDelete
    Replies
    1. දුක්වෙන්න එපා ආසාව තියනවනම් කොහොමහරි අවස්ථාවක් ලැබෙයි මෙහෙම ඇවිදින්න .මම මේ ගමන යද්දි පවුලක් හම්බුනා අම්මයි තාත්තයි දුවල දෙන්නයි කිරිගල්පොත්ත මුදුන ආසන්නයටම ගිහින් එනවා.මට පුදුම හිතුනා මොකද මීට කලින් කවදාවත් එහෙම ලංකාවේ එක පවුලක් විතරක් හයිකින් කරනව දැකල නැති නිසා.

      Delete
  7. බක්කරෙ ඔන්න අපිත් ඇව්තගියා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නව කපිතාන්ව.

      Delete
  8. හරිම සුන්දර ලිපියක් සහ කොමෙන්ටු ටිකක්. මගේ සිහිනයක් තියෙනවා ලංකාවේ දිගම ගඟවල් තුනක කයාකින්ග් කරලා , උසම කඳු තුනට නැගලා , ගැඹුරම තැන්තුනක කිමිදෙන්න. ඒ ආසාව දියුනු තියුනු කරණවා සැමගේ අදහස්!- තට්ට්යා http://thattayagekolama.blogspot.com/

    ReplyDelete
    Replies
    1. උසම කඳු තුනට නගින එක ටිකක් ලේසි වැඩක් .පිදුරුතලාගල උඩටම වාහන වලට යන්න පුළුවන්නේ. දිගම ගඟවල්වල යනකොට අපිට තව කයාකින් කතා අහන්ඩ පුළුවන් .

      Delete