Thursday, November 23, 2017

දුම්රිය මග දෙපස විදෙස් ආක්‍රමණිකයෝ


                    උඩරට දුම්රිය මාර්ගය ලාංකික පමණක් නෙමෙයි විදේශික සංචාරකයන් අතරෙත් බොහොම ජනප්‍රිය වෙලා තියන්නේ මග දෙපස පරිසරයේ තිබෙන සුන්දරත්වය නිසා.මෑතකදී මමත් ගම්පොලින් පොඩි මැණිකේ දුම්රියට නැගගත්තේ එම සුන්දරත්වය විඳිමින් බණ්ඩාරවෙලට යාමේ බලාපොරොත්තුවෙන් .වෙනදාට වඩා  තරමක් උනන්දුවෙන් මග දෙපස පෙනෙන ශාක දෙස බලද්දී මට වැටහුණේ ඒ බොහෝමයක් විදේශික ශාක බව සහ ඒ අතරිනුත් සෑහෙන ප්‍රමාණයක් ආක්‍රමණශීලී ශාක බවයි .මේ සටහන වෙන්වන්නේ ගමන අතරමගදී මා දුටු විදේශික ශාක පිළිබඳවයි . දේශීය නොවන ශාකයක් එය හඳුන්වාදුන් පරිසර පද්ධතියට,ආර්ථිකයට හෝ මිනිස් සෞඛ්‍යයට හානිදායක නම් ආක්‍රමණික ශාකයක් ලෙසින් සරලව හැඳින්විය හැක.එම හැඳින්වීමට අනුව සියළුම විදේශික ශාක ආක්‍රමණික ශාක නොවන බවත් පැහැදිලිය.
           
මානා පඳුරු (Panicum maximum)
             
                              මගේ ගමන ආරම්භයේම දකින්නට ලැබුණේ රට පුරා පැතිරී පවතින මානා පඳුරුයි.ගිනි තණ,රට තණ ආදී නම් වලිනුත් හැඳින්වෙන මෙම තෘණ විශේෂය 1820 දී අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.මෙය ලංකාවට හඳුන්වාදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සත්ව ආහාරයක් ලෙස භාවිතාකිරීමටයි.ඒ වගේම ඇල වේලි ශක්තිමත් කිරීමටත් මෙය වගාකළ බව සඳහන් වෙනවා.ලංකාවේ සිදුවන වනාන්තර ගිනි ගැනීම් සඳහා මානා ව්‍යාප්තිය ප්‍රබල හේතුවක් .ඒ මානා  ඉතා පහසුවෙන් ගිනිගෙන ගින්න  නිවා දැමීමට අපහසු ලෙස ක්ෂණිකව පැතිරීයාම නිසා.මගේ ගමනේ සෑහෙන දුරක් මග දෙපස  මානා පඳුරු දකින්නට තිබිණි .

රට හිඟුරු  (Lantana sp.)

                            මීලඟට මගේ අවධානය යොමුවුණේ මල් වලින් තම ආක්‍රමණික ස්වභාවය සඟවාගන්න උත්සහ කරන රට හිඟුරු.මේ ආක්‍රමණික ශාකය බාලොලියා සහ ගඳපාන යන නම් වලිනුත් හැඳින්වෙනවා.මධ්‍යම හා දකුණු ඇමරිකාව නිජබිම කරගත් මෙම ශාකය ලන්දේසි ගවේෂකයන් යුරෝපයට හඳුන්වාදීමත් සමග ලොවපුරා පැතිර යනවා.කෙසේ වෙතත් ලංකාවට මෙම ශාකය 1826 දී රාජකීය උද්භිත උද්‍යානය මගින් හඳුන්වාදුන් බවයි විශ්වාස කෙරෙන්නේ .මෙම ශාකයේ පත්‍ර සතුන්ට විශ සහිත බැවින් මෙහි ව්‍යාප්තිය ශාක භක්ෂක සතුන්ට ආහාර ලබාගැනීමේ අවස්ථාව අඩු කිරීමට හේතුවකි .(සමනල් උයන් සඳහා නම් මෙය වටිනා ශාකයකි.) 

බෑවුමක ඇති පයිනස් වගාවක් (Pinus caribaea)

                                                         කඳුකරයේ තවත් ඉහලට යත්ම අනිවාර්යයෙන් ඇස ගැටෙනා තවත් විදේශ ආක්‍රමණිකයෙක් වන්නේ පයිනස් ශාකයයි.ලංකාවේ වනවගා ව්‍යාපෘතියකට අනුව වගා කරන්නට යෙදුණු පයිනස් ආක්‍රමණික ශාකයක් ලෙස ස්ථීරව ප්‍රකාශ කිරීම අපහසු නමුත් ස්වභාවික පරිසර පද්ධතියට හානිදායක ශාක විශේෂයකි.මුලින්ම පයිනස් වගාව සිදුකර ඇත්තේ කඩදාසි නිශ්පාදනයට අවශ්‍ය පල්ප් සකසා ගැනීමටයි .නමුත් එම වගාකළ පයිනස් ඒ සඳහා භාවිතාවට ගෙන නොමැත.නැවතත් පසුකාලීනව පයිනස් වගාව සිදුකර ඇත්තේ වනවගා ව්‍යාපෘතියක් ලෙසයි.එහිදී දැව ලබාගැනීම හා පාංශු සංරක්ෂණය අරමුණු වී ඇත.නමුත් පයිනස් වගාව සම්බන්ධ ගැටළු රාශියක් පවතී. එයින් ජෛවවිවිධත්වයට හා  පාංශු ජල මට්ටමට වන හානිය ප්‍රධානයි.සාමාන්‍යයෙන් ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක,ජලය හා හිරු එලිය ලබාගැනීම  සඳහා එකිනෙකා අතර තරඟයක් පවතී .එම තරඟය ජයගැනීමට පයිනස් ශාකය Allelopathic රසායනිකයක් පසට මුදාහැරීම සිදු කරයි.එමගින් පයිනස් ශාකය අවට වෙනත් ශාක වල බීජ ප්‍රරෝහනය නැවැත්වීම සිදුවේ.පයිනස් කැලෑ තුල වෙනත් ප්‍රධාන ශාක ඇති නොවන්නේ මේ හේතුවෙනි .කෙසේවෙතත් තවත් ආක්‍රමණික ශාක දෙවර්ගයක් වන මානා සහ පතං පාලු ඇතැම් ප්‍රදේශ වල පයිනස් වගාවන් අතර බහුලව වැඩී තිබෙන ආකාරය මගේ සංචාරය වලදී දැකගැනීමට ලැබිණි .මීට වසර කිහිපයකට පෙර පයිනස් ඉවත් කර  ඒ වෙනුවට දේශීය ශාක වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුවත් එය කෙතරම් සාර්ථකව සිදුකලාද යන ප්‍රශ්නය පවතී.විශාල බිම් පෙදෙස් වසා තිබුණු පයිනස් ගස් කපා ඉවත් කිරීම ඉතා උනන්දුවෙන් සිදුකළත් ඒ වෙනුවෙන් නැවත වන වගාවට නම් උනන්දුවක් දකින්නට ලැබුණේ නැත.ඒ නිසා පස සෝදායාම,නාය යෑම් වැනි තත්ව ඇතිවිය .කලින් සඳහන්කළ Allelopathic රසායන ද්‍රව්‍ය නිසා පයිනස් වගාකළ බිමක වෙනත් පැළ සිටුවීම ඉක්මනින් සිදුකිරීම අපහසු නිසා මේ කටයුත්ත සිදුකළ යුත්තේ ක්‍රමානුකූලවයි . 

පතං පාලු(Austroeupatorium inulaefolium)

                     

                               පතං පාලු උඩරට දුම්රිය මාර්ගය දෙපස දැකිය හැකි තවත් ආක්‍රමණශීලී ශාක විශේෂයකි.දකුණු ඇමරිකාව නිජබිම කරගත් මෙම ශාකය 1970 දී පමණ ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබෙනවා ඉතා ඉක්මනින් ව්‍යාප්තවන නිසා ලංකාවට ආවේණික ශාකවලට මෙය තර්ජනයක් .

             
ජේම්ස් ටේලර්ගේ නවාතැනේ ඉතිව පවතින කොටසක්


                     ලූල් කඳුර වතුයාය
                              සංචාරකයන්ගේ නෙත පිනවන සහ සේවකයන්ගේ බඩ කට පුරවන තේ වගාවත් එක අතකින් විදේශ ආක්‍රමණයක් (නමුත් තේ ගස ආක්‍රමණශීලී ශාකයක් නොවේ).ලංකාවේ වානිජ තේ වගාව  1867 දී ජේම්ස් ටේලර් විසින් ආරම්භකළ අතර ඉන්පසුව කෝපි වගාවේ පරිහානියත් සමග එය ප්‍රදේශ රැසක ව්‍යාප්තවිය.උඩරට දුම්රිය මාර්ගය තැනීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම තේ වගාවයි.නමුත් රටපුරා විහිදී යන ගංගා ඇළ දොළ සියල්ලටමපාහේ උපත ලබාදෙන මධ්‍යම කඳුකරයට තේ වගාවෙන් ඇතිවී තිබෙන හානියත් සුළුපටු නැහැ.

                             සතියේ දවසක විදේශිකයින්ගෙන් පිරුණු දුම්රිය මැදිරියක (බණ්ඩාරවෙලින් බසින විට විදේශික සංචාරකයන් පිරුණු දුම්රිය මැදිරියේ  සිටියේ ලාංකිකයන් දෙදෙනෙකු පමණයි ) මගදෙපස ඇති විදේශික ශාක දකිමින්  මේ ගමන අවසාන කරද්දී  මම සිටින්නේ  ලංකාවේද යන්න මටම ගැටළුවක් විය .

14 comments:

  1. බදුල්ලේ අපේ ගෙවල් පැත්තේ මේ ඔක්කොම ගස් තියෙනවා.. තේ වතු ආශ්‍රිතව හා ඒ අතරමැද තියෙන ෆයිනස්, ටර්පන්ටයින් වගාවන් ආශ්‍රිතව.. ඉඩමක් සුද්ද කරන්න ගියාමත් කාලෙන් කාලෙට කීප සැරයක්ම මානා, හිඟුරු වගේ පඳුරු ගලවලා ගිනි තියන්න ඕනි.. මුල් වලින් නොගැලවුවොත් වැස්සට දෙකට ආයේ කැලේ වෙනවා.. ඒත් මේවා 'ආක්‍රමණික විදේශ ශාක' කියල ලොකුවට දැනගෙන හිටියේ නැති නිසා එච්චර අවුලක් තිබ්බේ නෑ.. ඒත් දැන් මතක් වෙද්දී කේන්තියි... :)) ෆයිනස් වලට අමතරව සයිප්‍රස්, සවුක්කු, කරපන්ටයින්, ටර්පන්ටයින්, තෙල් කරපන්ටයින් හෙවත් ටිම්බර්, යුකැලිප්ටස් වගේ 'අපේ' නම් වලින් හඳුන්වපු තව ශාක වර්ග ගොඩක් තියෙනවා තේ වතු හා කඳු ආශ්‍රිතව.. ඒ ගැනත් හොයලා ලියන්න. ස්තුතියි!

    ReplyDelete
  2. එක දේශීය ශාක තියෙන්නේ බොහොම සුළු ගණනක්නේ.

    ReplyDelete
  3. ගඳපාන වලට රට හිඟුරු කියන නම අදමයි ඇහුවෙ. මොනව උනත් වගාකරන්න ඉස්සරිං ඒව මෙහේ පරිසරයට කෙතෙක් දුරට බලපෑමක් කරයිද කියල හොයල බලල ඉන්න තිබුණ.

    ආපහු වගා කිරීම කෙසේ වෙතත් ෆයිනස් කැපීමනං දැනුත් කෙරෙනව. අපේ මල්ලි කෙනෙක් එහෙම තැනක වැඩ කරනව. දැන් ඉන්නෙ බණ්ඩාරවෙල පැත්තෙ.

    ReplyDelete
  4. හෙඩිම දැක්කම හිතුවේ වෙන දෙයක්... පස්සෙනෙ දැන ගත්තේ විස්තරේ දැනගත්තේ.බලන් යනකොට මේ සේරම පිට සටින් අපිට ලැබ්ච්චා

    ReplyDelete
  5. ගදපාන වලට ලන්ටානා කියලත් කියනවා නේද? උඩවලව වනෝද්‍යානයේ ප්‍රදානම ආක්‍රමණශීලි ශාකය ඔය ලන්ටානා කියන ශාකය.ඇත්තටම මේ ශාක අපේ පරිසර පද්දතිය විනාශ කරලා ඉවරයි. ඔය මානා කියන පදුරු මට පේන්න බෑ. අපේ වත්තත් කැලේ වෙන්නේ ඔය මානා නිසා.

    ReplyDelete
  6. ලංකාවෙ සමහර වන උද්‍යානවල ගඳපාන ලොකු උවදුරක්. ඒවා උදුරා විනාශ / අඩු කිරීමේ වැඩ පිලිවෙලකුත් ක්‍රියාත්මක වුනා

    ReplyDelete
  7. විශිෂ්ට ලිපියක්... මමත් දැක්කා මේ දේ. විශේෂයෙන්ම බ්ලූ ස්ටාර් කියන ලස්සන මල ව්‍යාප්ත වෙලා තියෙන හැටි... මේ ලිපිවල ඒ ගැන ඇති
    http://sobaroo.blogspot.com/2017/07/waterfall-hunting-in-sabaragamuwa.html
    http://sobaroo.blogspot.com/2016/07/rail-hike-from-nanuoya-to-ambewela-in.html

    ReplyDelete
  8. සුපිරි ලිපියක්. එකතු කරණ්න කරුණු බොහොමයි! කාලය තමයි නැත්තෙ. පොඩ්ඩක් කියනවානම් "ශාක ත්‍රස්තවාදය" කියලා පොතක් තියෙනවා. මේක ලියලා තියෙන්නේ නිට්ටඹුව පැත්තෙ මහත්තයෙක්. ඒ මහත්තයා ප්‍රවාහනය දෙනවානම් ඕනෙම තැනකට ඇවිත් ඉතා සාර ගර්භ දේශනයක් කරණවා නොමිලේම. අවශ්ය කෙනෙකුට ලින්කුවක් හොයලා දෙන්න පුළුවන්. ඒ මහත්තයාගේ දේශනයකට මම වරක් සහභාගී වුනා. කියපුවා ඇහුවාම බය හිතෙනවා. කොටින්ම අපි සල් කියන්නේත් වැරදි ගහකට. ඒක දකුණු අමෙරිකාවේ "කැනන් බෝල් ට්‍රී" කියන එක!

    ReplyDelete
  9. ඈ හත් ඉලව්වේ ටේලර් බංගලාව උඩහින් තියන පාරේ කොණ්ඩගලට නැග්ගෙ නැතෙයි ? එහෙමනම් තව මන්චි ලෙමන් පෆ්, මැලිබන් කරීම් ක්‍රැකර්, මෙන්ඩිස්, ගල්-පොල්, කොකා කෝලා, ස්ප්‍රයිට් වගේ ආක්‍රමණික දේවල් ගොඩක් බලා ගන්න තිබ්බ :-D

    ඔය යටින් දැම්මෙ මගේ අත්දැකීම :

    හන්තාන සිහිනය සහ උඩරට සිරි පිරි කොණ්ඩගල

    ReplyDelete
  10. අප්පෝ මානා නම් මතක් කරන්න එපා.. අදත් එව්වා එක්ක ඔට්ටු වෙලා මේ බූව වලට කැපිලා එපා වෙලා ඉන්නෙ.

    ReplyDelete
  11. හොද ලිපියක්
    ස්තූතියි

    ReplyDelete

  12. special promotion for nature loving friends (due to off session)

    book your lagoon tour just for Rs.3500
    duration - two hour
    maximum 07 person can join for tour (we charge rs.3500 per tour not for one person)

    Infinitely better value than a tuk tuk ride around the streets. This tour would be highly recommended for outdoorsy nature loving people.

    feel free to contact me - madushan 0755979991

    face book page - https://www.facebook.com/Negombo-Lagoon-TOURS-2030680287193446/

    ReplyDelete
  13. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete