Friday, April 7, 2017

බැලුම්ගල මුදුනට (බලන කපොල්ල-1 ) Visit to Balumgala

                          අතීතයේ මහනුවර රාජධනිය එයට එල්ලවූ ආක්‍රමණ රාශියකට මුහුණ දී දිගු කාලයක් පැවතීමට ප්‍රධානම හේතුව වූයේ රාජධනිය වටා ස්වභාවික පවුරක් ලෙස පිහිටා ඇති කඳු සමූහයයි.එම කඳු පසුකර අතීතයේ මහනුරට පැමිණීමට පැවතියේ කපොළු කිහිපයකි.ඒවායින් ප්‍රධානම කපොළු වන්නේ ගලගෙදර, බලකඩුව,බලන හා ගිනිගත්හේනයි.ඒ අතරින් බලන කපොල්ල විශේෂ වන්නේ එය හරහා කොළඹ මහනුවර මාර්ගය පැවතීමයි.එවක සිටි විදේශ ආක්‍රමණිකයන්ගේ පරිපාලන මධ්‍යස්ථානය කොළඹ වූ බැවින් මහනුවරට පහරදීමට හමුදාවන්ට බලන කපොල්ල හරහා පමිණීම අනිවාර්ය විය.මේ භූමියේ වැදගත්කම අවබෝධකරගෙන සිටි උඩරට රජවරුන් ඔත්තුබැලීමට මෙන්ම යුද්ධ කිරීමටද හැකි පරිදි බලන හා බැලුම්ගල සේනා රඳවා තැබීමට කටයුතු යොදා තිබුණී.
බලන හා බැලුම්ගල කඳු අතර කපොල්ල පිහිටා ඇති අයුරු

                               ඉතිහාස කතාවකින් පටන්ගෙන  අද  ලියන්නේ බැලුම්ගල සංචාරය ගැන.බලන කපොල්ලක් ගැන කියන්ඩ පටන්ගෙන මේ බැලුම්ගලක් ගැන ලියන්නෙ මොකද කියල පැහැදිලි කරොත් ඒකට හේතුව තමයි බලන කපොල්ල පිහිටා තියන්නෙ බැලුම්ගල සහ බලන කඳු අතර වීම.තවත් හේතුවක් නම් බලන කපොල්ල බලන කඳු මුදුනටත් වඩා හොඳින් නැරඹිය හැක්කේ බැලුම්ගල සිට වීමයි.කොළඹ සිට මහනුවරට පැමිණෙන විට කඩුගන්නාව ගල විදපු තැනට ආසන්නයේ දී පාරේ වම්පසින් බලන කඳු මුදුන දිස්වෙන අතර දකුණුපසින් දිස්වන්නේ බැලුම්ගල කඳු  මුදුනයි.

                                       කඩුගන්නාව නගරය අසලින්ම  බැලුම්ගලකරා යෑමට වාහන ගමන් කිරීමට හැකි මාර්ගයක් ඇති අතර අපි සංචාරය ආරම්භ කළේ එම මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙනි.එම මාර්ගයේ කිලෝමීටර පමණ ගමන්කළ පසු හමුවූ පළමු සම්ප්‍රේශන කුලුණ අසල දී ගල් තලාවක් හමුවිය,එය බලන කපොල්ල සහ අවට ප්‍රදේශය නිරීක්ශනය සඳහා අනගි ස්ථානයක් විය.පාර ඇසූ සෑම ප්‍රදේශ වාසියෙක්ම බැලුම්ගල ලෙස හැදින්වූයේ එම ගල් තලාව වුවත් ගමනට පෙර අප සොයාගත් කරුණු අනුව එය සැබෑ බැලුම්ගල නොවන බවත් එය තවත් ඉදිරියේ ඇති බවත් දැනසිටියත් ගම්මුන්ගේ තොරතුරු නිසා අපි දෙගිඩියාවෙන් යුතුව එතැන සිට අවට නිරීක්ශනය කළෙමු.එහිදී අපට තරමක් ඈතින් තිබුණු බැලුම්ගල දැකගත හැකිවිය.                          
 
පළමු ගල් තලාවේ සිට බැලුම්ගල පෙනෙන අයුරු

                                                 නැවතත් බැලුම්ගලකරා ගමන ඇරඹීමට පෙර විවේකයක් ගැනීමට සිතුවත් වාඩිවීමට තබා සිටගෙන සිටීමටත් නොහැකිලෙස ගල්තලාව පුරාම වීදුරුකටු විසිරී තිබුනේ පෙර පැමිණ ඇති සංචාරකයන්ගේ ගති සොබාව මේයැයි විදහා දක්වමිනි.එතැන්සිට ඉදිරියට යන ආකාරය තීටණය කිරීමට අපහසු වූයේ අප එතෙක් පැමිණි මර්ගය U හැඩැති වංගුවකින් හැරී බැලුම්ගලට ප්‍රතිවිරුද්ධ දිශාවට පැවතීමයි.පෞද්ගලික පාරක්  අප යායුතු පැත්තටම තිබීම නිසා  ඒ ඔස්සේ ගමන්කර අසල නිවසකින් විස්තර ඇසීමට අපි තීරණය කළෙමු.මුළින්ම හමුවූ පුද්ගලයාත් සුපුරුදු පරිදිම පහල තිබූ ගල් තලාව ගැන කියවීමට පටන්ගනිද්දීම අපි දුරින් පෙණුනු  බැලුම්ගල පෙන්වා සිටියෙමු.එවිට මදක් හිස කසමින් සිටි ඔහු තේ වගාවක් හරහා යාමට මග සලකුනු පෙන්වා දුනි,ඔහුට ස්තූති කළ අපි අවසානයේ හෝ පාර දන්නා කෙනෙක්  හමුවීමේ ප්‍රීතියෙන් තේ පඳුරු පීරමින් ගමන් කලෙමු.අපේ ප්‍රීතිය වැඩිවෙලා  පැවතීමට ඉඩක් නැතිවිය.ඉදිරියෙන්  ගමන්කළ  මිතුරා පාර කී පුද්ගලයාගේ හත්මුතු  පරම්පරාවම සිහිපත් කරන්නට වූයෙන්  අපිත් ඉක්මනින් ඉදිරියට ගමන්කළ විට  දැකගන්නට තිබුණේ අප නැවතත්  තාර පාරට  පැමිණෙන ඇතිබවය.නැවතත්  තේ පඳුරු අතරින් ගමන් කිරීමට අදහසක් නොවූ බැවින් පාර දිගේ ඉදිරියට  ගමන්කළේ බැලුම්ගලට යාමේ බලාපොරොත්තු අතහැරීමට ආසන්නව ය.

                                        එම මාර්ගය අවසානවූයේ තවත්  සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් අසලිනි ඒ අසල පාර දෙපැත්තම කම්බි වැටවල් ගසා තිබුණු  නිසා අපේ බලාපොරොත්තු තවත් කඩාවැටුණි.නැවතත් හැරීමට තීරණය කරද්දීම සම්ප්‍රේෂණය මධ්‍යස්ථානය  හා කම්බි ගසා  වෙන්කර තිබුණු ඉඩම අතරින් පෙනෙන්නට තිබුණු  කුඩා අඩිපාර අපේ  බලාපොරොත්තු නැංවීමට සමත්විය .ඒ අඩිපාර තවත් තේ වත්තක් හරහා වැටී තිබුණු  අතර එහි කෙළවර  කරාඹු වත්තක් විය.  වත්තට ඇතුළුවන විටම  හතර පස්දෙනෙක් කෑගසමින්  දුවගෙන ආවේ  අපට  කිසිවක් සිතාගැනීමටවත් ඉඩක් නොතබමිනි.අප අසලට පැමිණෙන විට  ඔවුන්ගේ මුහුණුවල තිබූ කෝපය තරමක් අඩු වූ බව පෙනෙන්නට තිබුණු නිසා අපි නැවතත් බැලුම්ගල කතාව  පැවසීමට නිර්භීත වූයෙමු.කරාඹු හොරු ඇල්ලීමට සිටි ඔවුන්ගේ පොලු පහර වලින් බේරීමට ලැබීම  වාසනාවක් බවත්  අනවසරයෙන් පුද්ගලික ඉඩමකට ඇතුල්වීම වැරදිබවත් ඉතාමත්  ආදරයෙන් 😀 කියාදුන් ඔවුන්  අවසානයේ  බැලුම්ගට  යන පාර  පෙන්වාදුන්නි.එම වත්තේ  කෙළවරට ගිය පසු  පඳුරු  වලින් වැසුණු  ගලක්  හමුවූ අතර එය තරණය කිරීමෙන් පසු අපට  බැලුම්ගල  මුදුනට පැමිණීමට හැකිවිය .

                      
බැලුම්ගල මුදුන (ඉදිරියෙන් ඇත්තේ බලන කඳුමුදුනයි )
                                       එතැන දර්ශනය මුළු ගමනේම විඩාව මොහොතකින් සමනය කිරීමට සමත්විය. බලන කපොල්ල හරහා  ඇති කොළඹ නුවර  ප්‍රධාන  මාර්ගය හා දුම්රිය මාර්ගය  කොතරම් මහන්සියෙන් ඉදිකර ඇත්දැයි පෙනෙන්නේ  මේ කඳු මුදුනට පමනක් විය යුතුය . විශේෂයෙන් ප්‍රධාන මාර්ගයට ඉහළින්  ඇති දුම්රිය මාර්ගය  දිස්වන්නේ  කන්දට අලවා ඇති ලෙසින්ය. එම  මාර්ගය තැනූ ඉංජිනේරුවා වන කැප්ටන්  ඩෝසන්  සිහිවීම සඳහා  තනා ඇති කුලුන  ශ්වේත වර්ණයෙන්  තුරු මුදුන්  අතරින් එසවී තිබෙන ආකාරයද  දැකගන්නට  හැකිය .ඉංජිනේරුවා සිහිවීමට කුලුනක්  තිබුණත් එදා ක්‍රියාත්මක වූ රාජකාරි ක්‍රමය අනුව  නොමිලයේ වැඩකල රටවැසියන්  සිහිවනු ඇත්තේ ඔවුන් අතින් කැඩීගිය ගල්කුළු වලට පමනක් විය හැක.කොළඹ  දිශාව බලන විට දී  පාරට ඉහලින් බලන  හා අලගල්ල කඳු ද,පාරට පහලින්  බතලේගල කන්දත් දැකිය හැකි අතර  මහනුවර  දිශාවෙන් කඩුගන්නාව  හා පිළිමතලාව  නගර ද  නැරඹීමට හැකිය .

දුම්රිය මාර්ගය හා A1 මාර්ගය බලන කපොල්ලට ඇතුළුවීම
උඩරට මැණිකේ කඳු අතරින් ඉදිරියට
කඩුගන්නාව නගරය පෙනෙන අයුරු.zoom කර බැලීමේදී ඈතින් ඇති ඩෝසන් කුලුනත් දැකිය හැක.

8 comments:

  1. පෞද්ගලික වතු හරහා යනවා හැරෙන්න වෙනත් මාර්ගයක් නැද්ද, වරක් ගොසින් පාර සොයගන්න බැරිව ආපසු ආවා.

    ReplyDelete
    Replies
    1. බැලුම්ගල වටේටම තියන්නේ පෞද්ගලික ඉඩම් ,අවසර අරගෙන යන්ඩ තියන්නේ .ඇත්තටම ඒවගේ තැනකට යන්ඩ පාරක් හදන එක යුතුකමක්.

      Delete
  2. අපූරු සංචාරයක්... අපූරු ලියවිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරයට ස්තූතියි සඳවතී.

      Delete
  3. ගුටි නොකා බේරිච්ච එක මදැයි. හැක්..

    ලස්සන පින්තූර ටිකක්.

    ReplyDelete
    Replies
    1. ආපු විදිහට හිතුවෙ කෑවම තමයි කියල . පොටෝ නම් ෆෝන් එකෙන් ගත්ත ඒවා ,ඒ නිසා දුර තියෙන කඳු එහෙම ගන්ඩ ටිකක් අමාරුයි .

      Delete
  4. මාත් සෑහෙන්ඩ ආසයි බන් ඔය වගේ ගමන් යන්න

    ReplyDelete
    Replies
    1. මේකට ඇබ්බැහිවුනොත් අයෙ ගැලවීමක් නෑ.

      Delete