Tuesday, May 23, 2017

රාවණාට අවි තැනූ කිණිහිර - Hike to Rakshawa

                              කිණිහිර,රාක්ෂාව,වංගෙඩි මෝල් ගහ වැනි නම් රාශියකින් හඳුන්වන දොළොස්බාගේ ප්‍රදේශයේ පිහිටි අලංකාර කඳුගැටයකට නැගි ගමනක් පිළිබඳව තමයි අද මේ සටහන ලියවෙන්නේ.රාවණා රජුගේ ආයුධ කම්හල් මෙහි පැවති නිසා මෙය කිණිහිර නම්වන බව ගම්වැසියන්  අතර ප්‍රසිද්ධ මතයක් පවතින අතර දුරින් බලන විට මෙය වංගෙඩියක් හා මෝල් ගහක් ලෙස දිස්වේ.

                         මුලින්ම මට රාක්ෂාව කන්ද පිළිබඳව තොරතුරු දැනගැනීමට ලැබුණේ මගේ මිතුරෙක් මගිනි .ගස් ගල් මතින් නගිමින්, වල් ඌරු රංචු මගහරිමින් මීදුම මැදින් අසීරුවෙන් පාර සොයාගනිමින් ඔහු මිතුරන් සමග  කුඩාකල කන්ද තරණය කළ හැටි විස්තර කළේ සුරංගනා කතාවක කොටසක් මෙනි .ඒ කතාව ඇසූ මම එම සති අන්තයේම   රාක්ෂාව නැගීමට තීරණය කළෙමි .එවිට යන මග මතක නැති බැවින් මග පෙන්වනෙකු සොයාගත යුතු බවත්  එසේ පුද්ගලයෙකු සොයාගත් පසුව අපට දන්වන බවට ඔහු පොරොන්දු විය.මග පෙන්වීමට ඔහුට ප්‍රදේශවාසී මිතුරෙකු කැමති කරවාගත හැකිවූ නිසා එම සති අන්තයේම කඳු නැගීමට යොදාගැනීමට අප වාසනාවන්ත  විය .

 කිණිහිර
                                              සෙනසුරාදා දින උදෑසනම ගම්පොල නගරයට එකතුවුණු අප කණ්ඩායම දොළොස්බාගේ බස් රථයට නැගුණේ මිතුරාගේ උපදෙස් පරිදි පරගල පන්සල අසලින් බැසගැනීමටයි.(නාවලපිටිය සිට දොළොස්බාගේ කරා ධාවනය වන බස්වල ද පරගලට පැමිණිය හැක.)පැය එකහමාරක්  පමණ තේ වතු හරහා වැටී තිබුණු අලංකාර මගක පැමිණි අපට පරගලට ළඟාවීමට හැකිවිය.අපේ මිතුරා බස්නැවතුමේදී අපව පිලිගෙන අසල නිවසකට ගමන්කරේ මග පෙන්වීමට කැමති වූ ඔහුගේ මිතුරා කැඳවා ගැනීමටයි.අපේ මගපෙන්වන්නා සමග මිනිත්තු කිහිපයක් කතා කිරීමේදී අප අතර පොදු යහළුවන් රැසක් සිටින බව දැනගත හැකිවිය.එලෙස අපි කතාකරන අතර ඔහු "උඹල මොනවද කන්ඩ ගෙනාවෙ"යන වැදගත් ප්‍රශ්නය විමසුවේය.අප බත් පාර්සල් ගෙනා බව ඇසූ ඔහු පාන් නැත්නම් වැඩක් නෑ කියා පවුලේ වැඩිමලාගේ වරප්‍රසාද භාවිතාකර නංගීට පොල් සම්බෝලයක් සෑදීමට නියමකර අසල කඩයකින් උණු උණු පාන් රැගෙන ආවේය.කෑම ප්‍රශ්නය විසඳාගෙන අපි ගමන ආරම්භ කරද්දී උදෑසන දහයත් පසුවී තිබුනත් මග පෙන්වන්නාගේ සිතේ කිසිදු චකිතයක් ඇතිබවක් නොපෙනුණු බැවින් අපිත් වැඩි තැකීමකින් තොරව පිටත්වූයෙමු.
                                           
                  තේ වතු මැදින්                                             

                       
උඩ වැඩියා මලක්,පසුබිමින් ඇත්තේ කබරගලයි

                         තේ වතු මැදින් අපි හනි හනිකට ගමන්කරද්දී අපට කබරගල වෙත යාහැකි මාර්ගයද හමුවිය.කබරගල ඒ ප්‍රදේශයේ උසම කන්දවන අතර එය තරණය සඳහා ද ගමන් ආරම්භ කළයුත්තේ පරගලෙනි.තේ වත්ත අවසානයේ තිබූ කම්කරු නිවසක් අසලින් අපි වනාන්තරයට පිවිස කුඩා අඩිපාරක් ඔස්සේ ගමන් කළෙමු.කැලය තුලට සෑහෙන දුරක් ගමන්කළ පසු දැකගන්නට ලැබුණේ එම අඩිපාර මානා සහ කටු පඳුරු වලින් වැසී ඇති බවයි.
                     
කටු බූටාගෙඩි රසවත් උනත් පඳුරු ගමනට බාධාවකි 
                                       
කටු බූටා
                             
එකතැනක හිඳ කතාබහ කිරීමටවත් නොහැකි අන්දමින් කූඩලු ගහණය අධික වූ නිසා අපි ආපසු හැරී මගදී හමුවූ දිය පහරට සමාන්තරව ඉහලට යාම ඇරඹූවෙමු.මෑතකදී කියවීමට ලැබුණු ලිපියකට අනුව ඒ දිය පහර අසුපිනි ඇල්ල නිර්මාණය කරමින් ගමන් කරනා මාඔයේ ආරම්භයයි.ගල් ඉද්ද ගස් විශාල ලෙස අප ගමන්කළ මග තිබුණු අතර ඒවාගේ එල්ලෙමින් තිබුණු කරු මුල් තිර ඇද්දා හා සමානව මග හරහා තිබිණ.


 මාඔයේ ආරම්භය
                           
ගල් ඉද්ද ගස්  මැදින්  

                           සෑහෙන අමාරු ගමනකින් පසු ඈතින් පෙනුනු කඳු මුදුනට වඩා තරමක් පහල විවෘත තැනිතලා භූමියක් අපට හමුවිය.එසැනින් අපි  ඇඟට නැගි කූඩැල්ලන් සෙවීම ආරම්භ කළෙමු .ඒවන විට ගවේෂණ චාරිකාවලට ආධුනික වූ අපට කූඩැල්ලන්ට එරෙහිව තිබූ එකම අවිය සිද්ධාලේප ආලේප කිරීමයි.කූඩැල්ලන් නැගීම වැලැක්වීමට සිද්ධාලේප ගාගෙන සිටියත් තෙත් සහිත පඳුරු එය දියකර දමා තිබුණි.සපත්තු මේස් ගලවා බලනවිට එක තැන කූඩැල්ලන් රංචු පිටින් එක්ව ලේ බොන අයුරු දැකගන්නට ලැබුණි.කූඩැල්ලන් ඉවත්කර ලේ ගලායාම නැවතීමට බෙහෙත් යෙදීමෙන් අනතුරුව අපි ගෙනා කෑම කා මදක් විවේක ගැනීමෙන් පසු නැවත ගමන් ඇරඹූවෙමු.ඒ වනවිට  මග පෙන්වන්නාට නිවැරදි පාර සොයගත හැකි වූ නිසා ගමන තරමක් පහසු විය.නැවතත් කැලයට පිවිසි අපට තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවිය,ඒ මග දෙපස තිබූ බට පඳුරු නැවී අඩිපාර උමගක් බවට පත්කර තිබීමයි .හිස ඔසවාගෙන ගමන්කළ නොහැකි එම මාවතේ අප නැවීගෙන හනිකට ගමන්කළේ නැවත හැකි ඉක්මනින් එලිමහනකට පැමිණීමටයි.ඒමග අතර මග තැනින් තැන ගල් පඩි ද අපට හමුවුණි.
                 

                                             
     ගල් පඩි                            

 එලිමහනට පැමිණි අපට වංගෙඩියක් මෙන් පෙණුනු ගලේ තරමක් උඩට ගමන්කළ හැකි තැන හමුවිය.එය අංශක අසූවක පමණ බෑවුමක් සහිත අඩි විස්සක පමණ කන්දකි.වැසිවැටීමෙන් බුරුල් වූ පස් හා ගල් සහිත එය තරණය ඉතා අපහසු විය.ඒ මෙම කන්දේ ඉහලටම පැමිණි හැකි ස්ථානයයි,එතැන තරමක් වෙලා අවට පරිසරය රසවිඳි අප නැවතත් පහලට බැස්සේ මෝල් ගසක් මෙන් පෙණුනු ගල අසලට ගමන් කිරීමටයි. නැවතත් පෙර පරිදිම බට පඳුරු අතරින් ගමන්කළ අපට මෝල් ගස අසලට පැමිණිය හැකිවිය.සොබාදහමේ අලංකාර නිමැවුමක් වූ එය අසල විවේකීව කල්ගත කල අපි දිවා ආහාරය ගෙන පහළට බැසීම ඇරඹූවෙමු .පහළට එනවිට අපට පහසුවෙන් ගමන්කළ හැකි පාරක් කලින් විවේකගත් තැනිතලාව අසලින් හමුවූ බැවින් ඉක්මනින් ප්‍රධාන මාර්ගයට පැමිණීමට හැකිවිය.
බඩගාගෙන ඉහලටම

මෝල් ගස


                   මේ ගමන අවසානයේ ලද අත්දැකීම් නිසා කූඩැල්ලන්ට එරෙහිව කූඩලු මේස් පැළඳීමත්,පාන් එතැන්සිට සිදුකළ සෑම කඳු නැගීමක ප්‍රධාන ආහාරය කරගැනීමත් සිදුවිය .

17 comments:

  1. පාං අපේ ජාතික ආහාරය කියන්නෙ නිකංයැ.
    මොනව උනත් හොඳ අත්දැකීම් ටිකක් ලබල තියෙනව වගේ.

    ReplyDelete
    Replies
    1. දැන්නම් මේවගේ ගමනක් යනකොට පාන් වරදින්නෑ.අපි පහුකාලීනව ගියපු ගමන් වලට මේක හොඳ අත්දැකීමක් වුනා.

      Delete
  2. අවුරුදු හයකට විතර කලින් මෙතෙන්ට යන්ට ගිහින් වුනේ දතකින් කෑල්ලක් අහිමි වීම විතරයි 😂.
    පස්සෙ ආය ගියා.
    සොබාවික කාලේ ලස්සනම තැනක් වෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. අපි ගියේ වැහිකාලෙක නිසා පරිසරේ ලස්සන වැඩියෙන් පේන්ඩ ඇති.මම නියපොතු ගලවගෙන තිබුනට තාම දත් කඩාගෙනනම් නෑ ඇවිදින්ඩ ගිහින්.මේ සංචාරෙ කළෙත් අවුරුදු තුනකට විතර කලින්.

      Delete
    2. සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට

      Delete
  3. කටුබූටෑ ටිකක් බ්ලැක්බෙරීස් ඉදෙන්න කලින් වගේ.

    ReplyDelete
    Replies
    1. මම ඉස්සෙල්ලම කටුබූටා කෑවෙ මේ ගමන ගිහින්,රසවත් පළතුරක්.
      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට.

      Delete
  4. ඇලේ බැහැලා වතුර පාගා බලාගෙන ඒ සුන්දරේ
    කැලේ මැද්දේ පඳුරු පාගා කන්ද නගිනා විස්තරේ
    කැලේ සුන්දර රූප දැක්කම යන්න හිතෙනව කඳුකරේ
    බොලේ නුඹනම් පිනැත්තෙකි මේ කඳු නගින්නට බක්කරේ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට ජීවත් වෙනවා කියල දැනෙන්නෙ මෙහෙම ගමනක් ගියාම.බොහොම ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  5. ඔන්න යන්න ඕන තවත් තැනක්. බොහොම ස්තුතියි මේ ඔත්තුවට....

    ReplyDelete
    Replies
    1. බොහොම සතුටුයි මේක කියවලා ගමන යන්ඩ හිතපු එක.ඒ අවටත් යන්න තැන් ගොඩක් තියනවා කබරගල ,අසුපිනි ඇල්ල වගේ.

      Delete
  6. හම්මේ ඇඩෙනවා ඕයි.. අර මුලින් පින්තුරේ දැක්කම මම හිතුවේ මේක මේ පික්නික් එකක් වගේ ගිහින් එන්න පුළුවන් ආතල් ඉස්පොට් එකක් කියල.. අර ගම්මානේ අන්තිම ගෙදර ලඟින් කැලේට ඇතුල් උන තැන ඉඳල පාර වරද්දා ගන්නේ නැතුව ගියොත් කොච්චරක් විතර දුරද? කටු බූටා කලින් දැකල නෑ.

    අර මෝල්ගහ ෆොටෝ එකේ තියෙන ඈන්ගල් එකෙන් බැලුවම මට පෙනුනේ ගල මත ගල් තියලා හදපු විසාල පිළිමෙකින් කැඩිලා ගිහින් ඉතුරු වෙච්චි කොටසක් වගේ..

    හරි අපුරු අත්දැකීමක්.. හයිය හත්තිය තියන දොහේ පුළු පුළුවන් තරම් ඇවිදපල්ලා..

    ReplyDelete
    Replies
    1. මටත් මෝල්ගහ ලඟට ගියාම ඉස්සෙල්ලාම හිතුනෙ හදපු එකක් කියලමයි.හරියටම පාර හොයාගෙන ගියොත් මේක පැය තුනකින් විතර යන්ඩ පුළුවන්,වැස්ස කාලෙට ටිකක් ගමන අමාරුයි හැබැයි ලස්සනයි.

      Delete
  7. උබ වසන්වන්තයි අපිට උබ ගැන ඉරිසියයි ...
    බලලා හරි සැනසෙන්න මෙහම ලියපු එක එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. මෙහෙම බලලා සැනසෙන්ඩ එපා,නිවාඩු දවසක ඇවිදලම බලන්න.ලොකුම වාසනාව මෙහෙම ඇවිදින්න සෙට් එකක් ඉන්න එක.

      Delete
  8. ගිය සැරේ මම කියපු එක ගැන ටිකක් හිතලා බලන්න ..ඔයාලට උදව් කරපු යාළුවගේ පෝන් නම්බෙර් දෙන්න යන කෙනෙකුට උදව්වක් වගේම එයටත් අදායමක් හොයා ගන්න ඒක උදව් වෙයි

    ReplyDelete
    Replies
    1. මම සෑහෙන්න කල්පනාකරල බැලුවා,වැඩේ කියන්නේ එහෙම හරියටම නවතින තැන්,ගයිඩ්ල අපි තාම ගමනකට සෙට් කරගෙන නෑ.මේකෙ මගපෙන්වන්නා කියන එකත් දැන් ඉංජිනේරුවෙක් වෙලා.සාමාන්‍යයෙන් ඔහොම තැනකට ගියහම ඕනි වැඩක් ශේප් කරගන්න පුළුවන්.

      Delete